topbella

Friday, February 11, 2011

නාය යන කඳු ගැටයක් උඩ සිට ලියමි...


ගියපාර මම ලියපු පෝස්ට් එක ඇත්තම වැස්සක් ගැන නොලිව්වට කට්ටිය ඇත්තම වැස්සක් ගැන ගොඩක් දේවල් ලියල තිබුනා. ඒ අයට ගොඩක් ස්තුතියි. ඒත් අද මම ලියන්නෙ ඇත්තම වැස්ස නිසා අපට වෙලා තියෙන දේවල් ගැන.

මාස එකහමාරක් ගෙදර ඉඳල ගිය සඳුදා ආපහු ආවට ආපු ගමන් දැක්කෙ බෝඩිම නාය ගිහිල්ලා.අප්පොච්චියේ... ආපු මෝඩකම කියලා හිතුනා. මගේ කාමරේ බිත්තියට තව අඩියක් විතර ඉතුරු වෙලා තියෙනවා. මාතෘකාවෙ කිව්වා වගේ දැන් ඒ කාමරේ ඉඳන් තමයි මේ පෝස්ට් එක ලියන්නෙ. හි හි... ඒත් රෑට කාමරේ නිඳාගන්නෙ නෑ. උදේ වෙනකොට පහල තියෙන පාරෙන් මාවයි රූමවයි අහුලගන්න වේවි කියලා. සද්දයක් ඇහුනු ගමන් දුවන්න බලාගෙන රෙඩි පිට තමයි ඉන්නෙ. දඩ බඩ ගාලා පස් වැටෙන ගල් පෙරලෙන සද්දයක් ආවොතින් ලැප් එක ඔලුවට අරන් දුවන්නයි තියෙන්නෙ. බේරගන්න කියලා වටින කියන දේකට තියෙන්නෙ ඒක විතරයිනෙ.

අද වෙනකොට වැස්ස නම් ටිකක් අඩු වෙලා. ඒත් අද උදෙත් ප්‍රවෘත්ති වලට කිව්ව අපිට චුට්ටක් එහා හරියක් (දෙකේ කණුවෙ) ගෙවල් ගිලා බහින්න පටන්ගෙනලු. ඊයෙ පෙරේදා අපිට එහා ගම ඒ කියන්නෙ බදුලුසිරිගම ගිලා බහිනව කියල මිනිස්සු අයින් කලා. අපි මැද්දට වෙලා ඉන්නව.

ඉගෙනගන්න එක කියන්නෙ ගොඩක් කැප කිරීම් කරල කරන්න ඕනෙ දෙයක් කියලා මම දන්නවා. ඒත් මේ තරම් කැපකිරීම්... මේ කොච්චර නාය ගියත් වැස්සත් අපිට පෙබරවාරි 21 විභාගෙ පටන් ගන්නවා. ඒකෙ වෙනසක් නෑ. ඉතින් නාය නෙමෙයි බිමට සමතලා උනත් අපි පාඩම් කරන්න ඕනෙ. හොඳම දේ තමයි අදට දවස් තුනක් වෙනවා. බෝඩිමට කරන්ට් එක නෑ. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි නිසා දවස් 5 කට විතර ආපහු එන එකක් නැතිවෙයි කියලා කට්ටිය කියනවා. 2011 වර්ෂයෙ වෙලත් අද පාඩම් කරන්නෙ පහන් එලියෙන්. මේ පෝස්ට් එක ලියන්නෙත් පහනක් පත්තු කරගෙන. හිනාවෙන්න එපා. ලැප් එක චාර්ජ් කරාගෙන ආවෙ දවල් කැන්ටිමට ගිහිල්ලා. කැම්පස් එකේ ලයින් එකට කරන්ට් තියෙනවා,. මේ දවස් වල බ්ලොග් පැත්තෙ ගැවසෙන්නත් බැරිඋනා ලැප් එකේ චාර්ජ් නැති නිසා..


මෝටර් ගහලා වතුර ගන්න ළමයින්ගේ බෝඩිම් වලට දැන් වතුරත් නෑ. උණු කරගන්න හීටර් ගහන්න බැරි නිසා අපිටත් බොන්න වතුර අඩුයි. ඇල් වතුර බිව්වොත් සෙන්ගමාලය...

බුදු අම්මේ වතුර ලයිට් නැති උනාට ඒ ඔක්කොටම හරියන්න සීතල තියෙනවා. මොඩම් එකට සිග්නල් අල්ලන්න ජනේලෙ ලඟ ඉඳලා මාවත් දැන් ගල් වෙන්න ලඟයි වගේ. (කට කට කට... දත් ටිකත් ගැහෙනවා). රෙදි හෝදන්න බෑ. වේලගන්න බෑ.....

ඔන්න ඔහොම දුක් විඳලා තමයි ළමයි ඉගෙනගන්නේ. හ්ම්ම්.. දැන් නම් දුක් වින්දා ඇති. ගෙදරින් අඬගහනවා ඔතන ඉඳලා මැරෙන්නෙ නැතුව එන්න කියලා. ඉතින් හෙට උදේ පාන්දරම ගෙදර යනවා. ගෙදර ගියෙ නැත්තෙ පාඩම් කරන්න බැරි නිසා. මම ගියාට බෝඩිමේ තව දෙන්නෙක් ඉතුරුයි. කොච්චර කිව්වත් උන් දෙන්නට යන්න බෑලු. අනේ මන්දා ඒත් දැන් මෙහෙ ඉන්නවට වඩා එක්සෑම් රිපීට් වෙන එක සැපයි වගේ. එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු...

--තාරා--

Monday, February 7, 2011

ඇයිද මා නොදනිමි...


බොහෝ කල් සිට පතා ආවෙමි
නිල් අහස කල එළි දකින්නට
දකිනු රිසියෙන් අහස බැලු කල
අඳුරු වූයේ ඇයිද නොදනිමි
වසා ගෙන ඇත අඳුරු මේ කුළු
පතනයක වැසි පෙර නිමිති ගෙන
මොහොතකින් වැහි බිඳු වැටෙද්දී
එබිඳු අතරින් ඔබට නොපෙනිම
දියවු සිහිනෙක මතක කැටි කොට
ගලා යන ඇත බොඳවු කඳුලැල්....

Thursday, February 3, 2011

දෑඟිලි ගනිමි කවදද ගෙදරට එන්නේ ...


පැලේ පහන අද මට අඳුරුව පෙනුනා
දවසට දෙකට ඔබ නැති තනිකම දැනුනා
පිරිත් හඬ නැතිව නොනිඳන බව දැනුනා
මගේ තාත්තේ රෑ මට ඉකි බිඳුනා

රෝහල් සයනයේ ඔබ තනිවම ඉන්නේ
පාළුව දැනෙනවද කවුරුද තෙපලන්නේ
ඔබ ඔහි සිටියමුත් සිත මෙහි බව දන්නේ
දෑඟිලි ගනිමි කවදද ගෙදරට එන්නේ

සල්කර්මයෙන් ඔබෙ නෙත් දෙක සුව වෙවා
අඳුරු වූ ලොවම නැවතත් එලි වෙවා
අපගේ සෙවනැල්ල මෙන් ඉනු හැකි වේවා
මාගේ පියාණනි ඔබ මතු බුදු වේවා...


Tuesday, February 1, 2011

මාර්ග නීති පිලිපදින්නට ගොස් චාටර් වීම...




පදික මාරු සංඥා වල රතු එලිය වැටිලා තියෙනකොට මොකද කරන්නේ?????
පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කියල හිත හිත ඉන්නවා...



ඒක තමයි මට නම් දෙන්න තියෙන උත්තරේ... :-(

අද තාරා තනියම කොළඹ ඇස් වාට්ටුවට ගියා... හපෝයි... දැන් වාහනයක් පැදගෙන යනවට වඩා මාර්ග නීති අනුගමනය කරන්න තියෙනව පදිකයන්ට... එපා වෙන්නෙම පාර මාරු වෙන තැන් වල තියෙන කලර් ලයිට්. ඉස්කෝලෙ යන කාලෙ දැකපු ඇක්සිඩන්ට් එකක් නිසා තාරා අදත් පාර පනිනකොට ටිකක් බයයි. කරුමෙට හරි පාර පනින තැනට ආවම රතු ලයිට් එක නම් තියෙන්නෙ, අනාථයි. පාරෙ යන එන වාහනත් අඩු නම් ඊටත් වඩා අනාථයි. ගොඩක් වාහන යනව නම් එච්චර අව්ලක් නෑ. කොල පාට වැටෙනකන් බලාගෙන ඉන්නවා. ඒත් වාහන අඩුයි නම් අනික් මිනිස්සු පනිනවනෙ. එතකොට මම පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කිය කිය කල්පනා කර කර ඉන්නව. එතකොට නිකම්ම කොල පාට වැටෙනවා. ඒ වෙනකන් අනික් මිනිස්සු පනිනවා. මං බලාගෙන ඉද්දි ආච්චිලත් පනිනවා. දුකේ බෑ.

ඔයාලත් දැක්කොත් කහ ඉරක් ගාව ගැහි ගැහි ඉන්න බයගුල්ලෙක්, එ සමහර විට මම වෙන්නැති...

අද නම් මහ ජරාම දවසක්. වෙච්චි ඊලඟ චාටර් වැඩේ උනෙත් මාර්ග නීති පිලිපදින්න ගිහින් තමයි. හොස්පිට්ල් එකේ ඉඳන් ආපහු එද්දි 138 බස් එකට නගින්න united motors එක ගාව තියෙන ලොකු ගහ යටට ගියා. අනේ එතන බස් නවත්තන්නෙ ට්‍රැෆික් එකේ. ඒකත් අයිනෙ මන්තීරුවෙ නෙමෙයි, මැද. ඉතින් තාරා කොහොමද බස් එකට නගින්නෙ??? මට මතක් උනා ඊට කලින් තාත්තත් එක්ක ආපු දවසක දැක්කා එතන නිල බස් හෝල්ට් එක තියෙන්නෙ තව මීටර් 50ක් විතර ඈතින් කියලා.. ඉතින් ඇවිද්ද පය දහස් වටී කියලා එතනට ඇවිදගෙන ගියා...

එතනට ගියාම මට අඬන්න හිතුනා. "මෙම ස්ථානයේ තිබූ බස් නැවතුම්පොල ඉවත් කරන ලදි" මට පුදුම කරුණාවක් දැනුනා...



ආපහු පස්සට යන්නත් දැන් නිකන් ලැජ්ජයි වගේ.. චාටර් කෝටියයි..... ආයෙමත් ඇවිද්ද පය දහස් වටී කියලා, හිතට ​​​ධෛර්යය අරන් කීයට හරි බස් හෝල්ට් එකක් හම්බෙනකන් ඉස්සරහට ගියා.

යනවා යනවා ඉවරයක් නෑ. අන්තිමට වොක්ෂෝල් වීදියත් පහු කරලා පිලිප් ගුණවර්ධන ග්‍රවුන්ඩ් එක ලඟ බස් හෝල්ට් එකක් වගේ එකක් තිබුනා. එතනත් කලර් ලයිට් වලම නවත්තලා තිබුනු බස් එකකට ඕන දෙයක් වෙච්චාවෙ කියලා ගිහින් නැග්ගා. සීට් එකක වාඩි උනාම කකුල් 2ට නිවන් ගියා වගේ. ඒ බස් එකත් ආපහු මන් අර කලින් හිටපු කලර් ලයිට් ගාවම ඇවිත් නැවැත්තුවා. මැද් මන්තීරුවෙ. මිනිස්සු රොත්තක් ගානක්වත් නැතුව දුවලා ඇවිත් නැග්ගා. අනේ මම විතරයි මෝඩයා...

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...