සරසවි ගිය දුවට
කැටේ අරන් පිකටින් නොයන් රට වටේ
වටේ යන විටදි බඹරුන්ට ඉව වැටේ
වැටේ එවිට මල් මකරන්ද බිඟු වටේ
වටේ නොගොස් දුවගෙන එන්න පැල් කොටේ
දහස් ගනන් දී බෝඩිම් වල ඉන්නේ
අහස් මාලිගා හිත තුල ඉදි වෙන්නේ
රහස් කතා 'නොකියා' තුල හිර වෙන්නේ
දවස් ගනන් පානුයි අල හොදි කන්නේ
ලෙච්චර වලට ගොස් එන විට කුස ගින්නේ
කොච්චර දුරද අපි දුව මොනවද කන්නේ
ගැත්තර කොලු ගැටව් නවකව වද දෙන්නේ
බිත්තර වුවත් තැම්බෙයි හද තුල ගින්නේ
ණය වීලයි නුඹව අපි සරසවි එව්වේ
පය ගෙවෙනවා බෝඩින් සොයමින් අව්වේ
බිය නොම වන්න පිරිසිඳු මව් කිරි බිව්වේ
කය මෙහෙ වුවත් හිත ඔබ ලඟටයි දිව්වේ
වැවේ රැව්ල රේසරයට නොකියාම
නිවේ කහට ජෝගුව මව අත තාම
දැවේ මතල් වී බෝඩින් වල කෑම
දුවේ මට දුකකි උඹ සරසවි යෑම
බෙන්තොට පී.ඩී. සිරිසෝම
මේ කවිය මම දැක්කෙ 2010 නොවැම්බර් 28 රිවිර පත්තරේ අරුණැල්ල කවි තීරුවෙන්...... කවිය කියවද්දි ඇහැට කඳුලක් ඉනුවෙ ඇත්තටම බෝඩිමේදි කන අල හොදි මතක් වෙලාද............ඒ කඳුලු වැටුනෙ ඇත්තටම දහසක් බලාපොරොත්තු කර උඩ තියාගෙන දරුවව කැම්පස් යවන තත්තලව මතක් වෙලාද......... මගේ තාත්තව මතක් වෙලාද...............
බලාගෙන ගියාම හැමෝගෙම ජීවිත වල වෙනසක් නෑ.
කුසේ කුසගින්න අමතක කරමින්නේ
ගතේ දැඩි වෙහෙස පසෙකට ලාමින්නේ
මා වෙනුවෙන් ඔබ දරනා දුක් ගින්නේ
අමතක කරන්නද කෙලෙසක දිවි නිම්නේ
මහමෙර උසට පුරවාගෙන ආසාව
දකිනා ලෙසට පඬි රුවනක ලෙස මාව
දන්නෙමි බව ඔබේ දිවියම මා ගාව
විශ්වාසය තබන් ඔබගේ ලොකු දූව
ඇස් තෙමෙනවා සිහි වන විට ඔබ නිතර
එන්නට හිතෙනවා ඉගිලී හෝ ගෙදර
ඔබෙ දිවි එලිය කරනට ලෙසකින් කවර
නෙත් දෙක මමයි ඔබගේ නැතිවුනු අදර
-තාරා