topbella

Wednesday, October 17, 2012

සොඳුරිය මට නොකියාම ගියා....

අවුරුදු තුනකටත් වැඩි කාලයක් පාළු කම රජ කරපු අපේ ගෙදර අද උදේ ඉඳන්ම එකම ගාලගෝටියක්. ඒ හැම කෙනෙක් අතරම මම හොයන්න උත්සාහ ගත්තෙ ඔයාව. ඒ ඇයිද කියන්න දන්නෙ නෑ... අතරින් පතර පුංචි කසුකුසුවකුත් මට ඇහුනා. ඒ ඇහුනු දේවල් විස්වාස නොකර ඉන්න මම හිත හයිය කර ගන්න ඕනෙ.
අවසන් කටයුතු කරනවා කිව්වෙ අනිද්දනෙ. දවස් තුනක් තියෙනෙවා. ඔයාට වැඩ ඇති, එහෙම ලේසියෙන් වැඩ ටික අතරමඟ දාල එන්න පුළුවන්ද නේද...

හත්මුතු පරම්පරාව කියන්නෙ කවුද කියලා හරියටම අද නම් බලාගත්තා. අපේ මඟුල් ගෙදරට ආවා වගේ දහ ගුණයක් විතර නෑදෑයො අද ඇවිල්ලා... දකිනකොට නම් හරි සතුටුයි. ඒත් ඒ මූනවල් වල තියෙන දුක් පෙනුම දකිනකොට මම කොහොමද හිනාවෙලා ඉන්නෙ. ඔයා ඉක්මනට එන්නකො. මම ආයෙමත් අඳුන්නලා දෙන්නම් කට්ටියවම.

දෙවෙනි දවසත් උනා. සැරින් සැරේ වාහන වල සද්ද ඇහෙද්දි මම ගේට්ටුව ලඟට ගිහින් බැළුවෙ ඒ ඔයාගෙ කාර් එක වෙන්න ඇති කියලා.. අද නම් දුරම ඉන්න නෑදෑයොත් ආවා. අප්පච්චිගෙයි අම්මගෙයි හිත මිත්‍රයො... අනේ ඔයත් ඉක්මනට එනව නම්....

ම්ම්ම්ම් අද නම් අවසන් කටයුතු කරනවලු.. අම්මයි අප්පච්චියි ලඟින් මමත් වාඩි උනා හාමුදුරුවො පාංශකූලෙ දෙන්න වැඩියාම. අම්ම අඬන හැටි දැක්කාම මගේ ඇස් වලින් කඳුළු බේරෙන එක නතර කරන්නෙ කොහොමද... ඔයා ඇවිත් හිටිය නම්, ඔයාගෙ උරහිසට ඔළුව තියාගන්න තිබුනා. හිමීට අප්පච්චි ලඟට කිට්ටු වෙලා අප්පච්චිගෙ උරහිසට ඔලුව තියාගත්තා. පාංශකූලෙ ඉවර වෙලා කනත්තට යනකන්, අප්පච්චිගෙ පිටිපස්සෙන් කකුල් දෙක අද්ද අද්ද ගාට ගාට ගියාට, බෙල්ල කරකව කරකව පිටිපස්ස බැළුවෙ හති දමාගෙන දුවගෙන එන ඔයාව හරි ගෙනඟ මැද්දෙන් පීරගෙන එන ඔයාගෙ කාර් එක හරි දකිනකන්.

පෙට්ටිය වල උඩින් තියලත් අන්තිම පාරට කවුරු හරි බලන්න ඉන්නවනම් කියලා ඇරලා පෙන්නුවා... සෙනඟ පීරලා බැල්මක් දාලා බැලුවෙ දැන් වත් ඇවිල්ල ඇති කියලා හිතාගෙන... අනේ ඔයා දැක්ක නම්....

ලස්සනම ලස්සන සුදුපාට සාරියක් මට අන්දලා තිබුනා.. පුංචි පබලු වලින් වැඩ දාලා... මතකද මම තෝරගත්ත‍ මගෙ මඟුල් සාරියත් පුංචි පබළු වලින් වැඩ දාපු එකක්. ඒ වගේම ලස්සන මල්... මං ආස කලා වගේම අමු මල් වලින් අදත් සරසලා තිබුනා... ඒත් පුංචි අඩුවක්. ඔයා ආස කරපු ඒ පොකුටු කොන්ඩෙ නම් නෑ... අන්තිම පාරට ඔයා බලන්න ආපු දවසින් පස්සෙ මහරගමදි දීපු බෙහෙත් වලට අහුරු පිටින් ගැලවුන නිසා අන්තිමට පිහිටට හිටියෙ බොරු කොන්ඩයක් තමයි...

සේරම වැඩ ඉවර උනාට පස්සෙ එක්කෙනා දෙන්නා කනත්තෙන් එහාට ගියා... අම්මයි අප්පච්චියිත් ගියා... මාව එක්කන් යන්න අමතක කරලා ගියා. මට මතක් උනා ආයෙමත් අපේ මඟුල් ගෙදර. අම්මයි අප්පච්චියි එදත් මාව දාලා ඔය විදිහටම ගියා. එදා නම් ඔයා හිටියනෙ. යන සෙනඟ අතරේ ආයෙමත් ඇස් දිව්වා...
මට සින්දුවක් මතක් උනා.....
 
එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...

මගේ කතාවට සම්පූර්ණයෙන්ම ගැලපෙන්නෙ නැති උනත්, ඒ මතකයත් එක්ක ගඟක් වගේ ගලන්න ගත්ත කඳුළු මට නවත්තන්න බැරි උනා.

ඔයාගෙ දෙමව්පියො නෑදෑයො නැතත් ඔයා එයි කියලා මම විශ්වාස කලා. මාස දෙකකට උනත් ඔයා මට දුන්නු ආදරේ බොරුවක් ම නෙමෙයි කියල මම හිතුවා. මට සමාවෙන්න...... මම ඔයාගෙ වෙච්චි ඒ දවස වෙද්දි මෙහෙම දෙයක් දැනන් හිටිය නම්, කවදාවත් ඔයාව මෙහෙම අතරමං කරන්නෙ නෑ...... සත්තකින්ම ඒ වෙනකොට අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ...........................


(සත්‍ය සිදුවීමකි...)

Thursday, September 6, 2012

බලා ඉන්නම්...


බලා ඉන්නම් නුඹ වඩිනකන්
කඳු ගැටිති නිල්වලා අතරින්..
බලා ඉන්නම් දවල් වන විට
ලඟට ඇවිදින් හිස සිඹිනකන්..
බලා ඉන්නම් රක්ත නයනින්
කඳුල වුව හැර පලා යනකන්..
බලා ඉන්නම් හෙට වඩින්නේ
මා බලන්නැයි සිත සනසමින්...


 

Wednesday, July 11, 2012

ඉටි පහනක්...2



හුස්ම නොහෙලමි
පියා නොවිදමි
ඉටි පහන වට
නොම සරන්නෙමි
අඩක් පිච්චී
දැවී අළු වුනු
පියාපත් දෙස
බලා ඉන්නෙමි
දුර හිඳන් මම
පෙම් කරන්නෙමි
නුඹට නොපෙනී
නුඹට නොදැනී...

Sunday, May 20, 2012

රුපියල් විස්සේ මගේ ෆෝන් එක...


අද නම් කියන්න යන කතාව බෝඩිම ගැන නෙමෙයි. මේක අර ගැරඬියා ආපු ඔෆිස් එකේ ඉන්න කාලෙ වෙච්චි එකක්. ඒ ලෙවල් පලවෙනි පාර කරලා, මැරුනත් ආයෙ නම් කරන්නෙ නැ කියලා ගෙදර හිටපු කාලෙ. ඒ කියන්නෙ මටම වෙච්චි දෙයක්. මම ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රියා පටිපාටිය අනුගමනය කරල කරපු වීර ක්‍රියාවක් ගැන. ඔය බස් වල යන ගමන් කෙල්ලන්ට කොකම් පපා යන කට්ටිය හොඳට අහගන්න...

ප්‍රධාන බස් පාරෙ ඉඳන් අපේ ගෙදරට එන්න පැය කාලක් විතර පයින් යන්න ඕනෙ. ඕක තමයි ඉතින් තියෙන අමාරුම වැඩේ. ඉස්කෝලෙ යන කාලෙ නම් කට්ටිය එක්ක කෑ ගගහ පාර දෙවනත් කරගෙන එනකොට ඔය දුර දැනෙන්නෙ නෑ. ඒත් මේ ජොබ් එකට යන කාලෙ පයින් යනව එනව කියන්නෙ මරනව වගේ. ලංගමෙන් ඒ වෙනකොට අපේ පාරට එක බස් එකක් දාලා තිබුනා. ඒක පැයකට සැරයක් එහාට මෙහාට යනවා. ඉතින් එතකොට නම් හොඳයි. ඒ බස් එක නම් අපේ ගේ ගාවින් ම යනවා. මම වැඩ කරපු තැන තිබුනෙ මහ දුරක නෙමේ. අර ප්‍රධාන බස් පාරට හැරෙන හංදියෙ.උදේ 8.20 ට යන බස් එකේ සෙනඟ කට කපල හිටියත් මමත් ඉතින් කොහොම හරි නැඟල යනවා. පයින් යන්න කම්මැලි කමටම.

මේ කියන කාලෙ වෙනකොට මම මාස 2ක් විතර එතන වැඩ කරලා පඩියක් එහෙම අරන්, ඒකෙන් චූටි ෆෝන් එකකුත් අරන් හිටියෙ. Nokia 1200 එකක්. ඒත් මමම හම්බ කරලා ගත්තු එක නිසා පුදුම ආදරෙයි. ඒකට ක්‍රිස්ටල් කවරයක් දාලා, පටියක් දාලා (ඒ නම් මගෙ අතින් හැම වෙලේම වැටෙන නිසා...), කෝල් එකක් එනකොට ලයිට් පත්තු වෙන ස්ටිකර් එකකුත් පිටිපස්සෙ අලවලා තිබුනෙ.

 දවසක් මම ෆෝන් එකත් කලිසමේ සාක්කුවෙ දාගෙන උදේ බස් එකේ ගිහින් හංදියෙන් බැස්සා. මම චූටි දුරකින් බහින නිසා දොරෙන් බහිනවට වඩා ජනේලෙකින් පනින එක හොඳයි කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමා. කොහොම කොහොම හරි තෙරපිලා තෙරපිලා බස් එකෙන් බැහැලා ටික දුරක් ගිහින් ෆෝන් එක ගන්න බැලුවා. දෙයියනේ...... ෆෝන් එක නෑ.

බස් එක ලඟ ඉඳන් ඒ වෙනකොට අඩි දහයක් විතර ඇවිත් තිබුන නිසා ඒ හරියෙ බිම බැලුවා. තිබුනෙ නෑ. බස් එකට නඟිනකොට තිබුනනෙ, ඉතින් ස්ථානෝචිත මොකද්ද එක පාවිච්චි කරලා මම ආපහු නැග්ගා බස් එකට. ඒ වෙනකොට බහින කට්ටිය සේරම බැහැලා, නඟින කට්ටිය සේරම නැඟලා බස් එක යන්න අද්දනවා.

හැමදාම අපේ පාරෙන් යන බස් එක නිසා ඒකේ ඩ්‍රයිවර් මහත්තයව, කොන්දොස්තර මහත්තයව අඳුනනවා. මම නැඟලා කොන්දොස්තර අංකල් ට කිව්වා. අනේ මගේ ෆෝන් එක බස් එක ඇතුලෙ වැටිලද කොහෙද... පොඩ්ඩක් බලනවද.. කියලා. ඉතින්, කොන්දොස්තර මහත්තයා හැමෝටම කිව්වා..... අපේ ගෙවල් පැත්තෙ අය නිසා බස් එකේ හිටපු ගොඩ දෙනෙක් මමත් අඳුනනවා.

ෆෝන් එක රින්ග් කරලත් බැලුවා. ඒත් ඒක සයිලන්ට් දාලා තිබුනු නිසා වැඩක් උනේ නෑ. කොල් කරන්න ට්‍රයි කරපු කට්ටිය කිව්වා ෆෝන් එක ඕෆ් කරල කියලා. බස් එකේ හිටපු එක මනුස්සයෙක් කිව්වා මම බැහැපු තැනදි ෆුට් බෝඩ් එකට මොනාහරි වැටෙනවා ඇහුනා. මට පිටිපස්සෙන් බැහැපු වයසක මනුස්සයෙක් ඒක ඇහිඳගත්තා දැක්ක කියල.

මේ වෙනකොට බස් එක සෑහෙන දුරක් ඇවිල්ලා. මම ඊලඟ හෝල්ට් එකෙන් බහැලා අනික් පැත්තට එන බස් එකක ආවා. කෙලින්ම ආවෙ මගෙ ඔෆිස් එකට. එනකොට බොසා හිටියා (අර ගැරඬියා එලවපු එක්කෙනා නෙමෙයි, එයාගෙ අයියා...) මම බොස්ට සිද්ද වෙච්චි දේ කිව්වා. මට ඒ වෙලාවෙ නම් ඇඬෙන්න වගේ... බොස් මට කලබල වෙන්න එපා කියලා, අපේ මැනේජර් වගේ හිටපු වසන්ත අයියා (අයියා කිව්වට අංකල් :) ව මගෙත් එක්ක එව්වා.. ගිහින් බලන්න කියලා.

අපි දෙන්නා ආයෙමත් හංදියට ගිහින් බස් හෝල්ට් එකේ බැලුවා. ලඟ පොඩි කඩේකින් ඇහුවා, "දැං වයසක් මනුස්සයෙක් බස් එකෙන් බැහැලා මෙතනින් ගියා දැක්කද" කියලා. "එතන එහාපැත්තෙ සයිට් එකක් තියෙනවා. එතනට ගිය බාස් කෙනෙක් ද දන්නෙ නෑ බලන්න" කියලා මුදලාලි කිව්වා. ඉතින් අපි එතනටත් ගිහින් බැලුවා. එතන මුරකාරයා කිව්වා 8 න් පස්සෙ කවුරුත් ඇතුලට ආවෙ නෑ කියලා. ඉතින් අපි ඒ අවට ටිකක් බලලා ආපහු ඔෆිස් එකට ආවා... එදා දවස ඉතින් හරිම දුකෙන් ඔෆිස් එකේ ගත කරලා මම හවස ගෙදර ගියා. හවසට යන්නෙත් ඒ බස් එකේම තමයි. ඒත් එදා මල්ලිට එන්න කියලා බයික් එකෙන් ගෙදර ගියා.



හවස ගෙදර ඉන්නකොට අපේ නෑදෑ අයිය කෙනෙක් ඇවිත් කිව්වා අර වයසක මනුස්සයා කවුද කියල හොයාගත්තා කියලා. මට සතුට ඉහිලුම් නැති උනා. එවෙලෙම තාත්තවත් එක්කගෙන අර අයිය එක්ක මම ඒ වයසක මනුස්සයා හොයන්න ගෙදරට ගියා. අපේ ගෙවල් වලින් ටිකක් එහා ඉන්න වයසක මනුස්සයෙක්. ගිහින් ඒ මනුස්සයත් එක්ක කතා කලා.

අපේ තාත්තා: මාමෙ, මාමා අද උදේ බස් එකේ හියා නේද?

වයසක මනුස්සයා : ඔව් ඔව්

අපේ තාත්තා: හංදියෙන් ද බැස්සෙ?

වයසක මනුස්සයා : ඔව්.. ආයුර්වේදෙට ගියානෙ

අපේ තාත්තා: බහිද්දි මොනා හරි වැටිලා තිබිලා ඇහින්දද?

වයසක මනුස්සයා : ආ... ඔව්, ටැලිපෝං එකක් හම්බුනා, එතකොට (මාව පෙන්නලා) මේ දරුව වගේ
                               දරුවෙක් ඇවිත් ඇහුවා... සීයා පෝං එකක් ඇහින්දා නේද.. ඒක මගේ. මට දෙනවද...
                                 කියලා

අපේ තාත්තා: ඉතින් දුන්නද?

වයසක මනුස්සයා : නෑ. මම කිව්වා මට කීයක් හරි දුන්නොත් දෙනවා කියල. ඊටපස්සෙ මට රුපියල් විස්සක්
                                      දුන්නා. මම ඉතින් දුන්නා.


අපේ තාත්තා: ඒ ළමයව අඳුනනවද?

වයසක මනුස්සයා : මේං මේ දරුව වගේ තමා.

මේ මනුස්සයගෙන් තවත් අහලා වැඩක් නෑ කියලා දනගෙන අපි එහෙන ආවා. ඊලඟ මෙහෙයුම තමයි අර කෙල්ලව හොයන එක.. අයියා කිව්වා... ආ ඔයාට පස්සෙ බැහැපු කෙල්ලව මම දන්නවා කියලා. (දැනගන්න එපැයි, එයාලගෙ වැඩේ ඉතින්බස් එකේ යන කෙල්ලොන්ගෙ රෙජිස්ටරේ මාක් කර්න එකනෙ හැමදාම... ඒක තම මම කිව්වෙ බස් එකේදි කොකම් පපා යන කට්ටිය හොඳට අහගන්න කියලා. ඔයාලටත් මෙහෙම කල්පනාවෙන් හිටියොත් ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්) ඒත් ඒ වෙලාවෙ රෑ වෙලා නිසා තාත්ත කිව්වා අද බෑ.. හෙට යමු කියලා.

ඔන්න ඊලඟ දවසට එලි උනා තාත්තයි, මමයි, අපේ මලයයි උදේ පාන්දරම කුකුලා අතේ අරගෙන අර කෙල්ලගෙ ගෙදර තියෙනව කියපු තැන හොයාගෙන ගියා. මඟක් දුර යනකොට මෙන්න කෙල්ලෙක් එනවා පනාව දාගෙන ඉස්සරහට. මගේ ලඟට ඇවිත් කිව්වා "අනේ නංගි ඔයා හම්බුනු එක හොඳයි.. මම මේ ඔයාව හොයාගෙන එන්න හිටියෙ, ඔයාගෙ ෆෝන් එක අපේ ගෙදර තියෙනව පටිටො, අම්ම ගෙදර ඇති ඉල්ලගන්න... මම වැඩට යන්න පරක්කු වෙනව.. මම යනව පැටියෝ........." කියලා බටර් තලියක් ගාල ගියා. මම බයේ හිටියෙ බදාගෙන ඉඹියි කියලා. හි හි...

ඉතින් මම හිතුවා හරි හොඳ අක්ක කෙනෙක් වෙන්න ඇති, මගෙන් ෆෝන් එක වැටෙනවා දැකලා ආපහු මට දෙන්න අරගන්න ඇති කියලා.

ඉතින් අපි ඒ කියපු ගෙදරට ගිහින් ෆෝන් එක ඉල්ලගත්තා. හැබැයි, ඒ වෙනකොට ෆෝන් එකේ සිම් එකවත්, කවරෙවත්, ස්ටිකරේවත් කිසිම දෙයක් නෑ. බැටරියයි ෆෝන් එකයි විතරයි. ඉතින් ඒක හරි හම්බුනානෙ කියල හිතලා සතුටු උනා.

ඊට පස්සෙ ඉතින් අයියල මට විහිලු කර කර හිටියා.. "මෙයාට තියෙන්නෙ රුපියල් විස්සෙ ෆෝන් එකක්" කියලා.
ඒත් ඊට පස්සෙ තමා අපි ඇත්ත කථාව දැන ගත්තෙ. ඒ කෙල්ල මට දෙන්න නෙමෙයි ෆෝන් එක අරන් තියෙන්නෙ. ඒකනෙ බැටරියයි ෆෝන් එකයි ඇර වෙන දෙයක් නොතිබුනේ... තාත්තා එදා රෑ යන්න බෑ කිව්වට අයියා රෑ වෙලා තව කොල්ලො සට් එකක් එක්ක ඒ කෙල්ලගෙ ගෙදරට ගිහින්. ගිහිල්ලා ඒ කෙල්ලව බය කරලා ඇවිල්ලා.
ඒ නිසා තමයි කෙල්ල පහුවදා උදේ බබා වගේ ඇවිත් මට බටර් පාර ගාලා හිමීට ෆෝන් එක ආපහු දුන්නේ... හි... හි...

ප.ලි. එදා ෆෝන් එක නැතිවෙලා දුකෙන් ඉන්නකොට අපේ බොසාට දුක හිතිලා, මැනේජර් ට කිව්වලු ෆෝන් එක හම්බුනේ නැත්නම් එකක් අරන් දෙන්න කියලා.... මට ඕක මැනේජර් කිව්වෙ පස්සෙ කාලෙක... හි හි... අපරාදෙ...

ප.ප.ලි: දැන් නම් IMEI අංකයක් කියලා එකක් තියෙනවලු නේද??? *#06# කියල ඕනෙම ෆෝන් එකක ගැහුවාම එනවලු. ෆෝන් එක නැති උනාම ඕක දැනගෙන හිටියොත් ප්‍රයෝජනවත් වෙනවලු... හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.


Tuesday, May 15, 2012

Dialog සිග්නල් තියෙන්නෙ කොතනද???



මේක නම් ක්‍රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්‍රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්‍යයක්.

අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්පස් එකටම අළුතෙන් කණුවක් දීලා. ඊට කලින් මොබිටෙල් සිග්නල් අන්තිමයි. මම ඇරෙන්න අනික් හැමෝම පාවිච්චි කලේ මොබිටෙල්.

සත්තු ටිකට training දෙනවා කියපු දවසේ බෝඩිමේ එකම යුද්ධයයි. එහෙට කතා කරනවා... මෙහෙට කතා කරනවා... seniorsලට කතා කරනවා... madam ට කතා කරනවා.. තැන හොඳයිද කියල අහනවා... boy friend ට කතා කරලා "එතන ට්‍රේනින් ගියාට කමක් නැද්ද අනේ" කියලා අහනවා...

ඔන්න ඔය විදිහට දස අතට කෝල් කර කර ඉඳලා අන්තිමට තීරණයක් අරගෙන මැඩම් ට කියන්න ආපහු කෝල් එකක් ගන්න උනා... ඉතින් මැඩම් ට කෝල් කරනවා කියන්නෙ ටිකක් වැදගත් විදිහට කතා කරන්න එපැයි. මැදදි කට් වෙන්නත් හොඳ නෑනෙ. මැඩම්ලට අපිට වගේ නෙමෙයිනෙ. කොච්චර වැඩ තියෙනවද...

ඒ වෙලාවෙ ගිය දෙබස මෙන්න මෙහෙමයි. (චතූ කෝල් එක ගත්තෙ අර සතාගෙ ෆෝන් එකෙන්)

චතූ: සද්ද කරන්නෙ නැතුව හිටපල්ලා... මම මේ මැඩම් ට කෝල් එක ගන්නෙ...

සතා: චතු, චතු..., මේ මෙතන්ට එන්න. මේ ජනාගෙ ඇඳේ මේ කෙලවරට ඩයලොග් සිග්නල් තියෙනවා...

(ඒක අහලා චතූ ගන්න ගිය කෝල් එක කට් කරලා....)
චතූ: ඈ... මෝඩයො..., උඹේ සිම් එක ඩයලොග් ද?

සතා: නෑ.. නෑ... මැඩම්ගෙ නම්බර් එක ඩයලොග්.

ඊට පස්සෙ කට්ටියටම ට්‍රේනින් වත්, කාටවත් කෝල් කරන්න වත් මතක නෑ... ඉන් එහාට බෝඩිමේ පරිසරය එදා ගෙම්බා ඉස්ටිකර් උනු දවසට සමානයි හි හි හි...


ප.ලි. ; හිතන්නෙපා අපි සතාගෙ නොදන්නා කමට හිනා උනා කියලා. එයා හොඳටම දන්නවා... ඒ ට්‍රේනින් ප්‍රශ්න අස්සෙ මොලේ කරකුට්ටං වෙලා ඉඳලා තියෙන්නෙ..

Saturday, May 12, 2012

රොබරෝසියා...


නිල්ම නිල් අහස යට
අවට කොල පැහැ අතර
දකින මුදු රෝස පැහැ
නුඹේ ඇස් රවටනව

බලන අත රෝස පැහැ
මල් පියලි විසිරිලා
නුඹ හිතාගෙන ඉන්නෙ
ලොවම එහෙමයි කියා

කුල්මත් ව ඉපිල යන
හිත නටන සතුටකින්
නුඹ සිනාසෙන අරුම
ලෝකයම දකිනවා

කාලය ගතවෙලා
වසන්තය දියවෙලා
යද්දි නුඹෙ රෝස පාට
ලෝකයම බොඳවෙලා



බිම වැටුනු රෝස සළු
හෙමි හෙමින් වියලිලා
මතුවෙද්දි ගුරුපාට
තණ පත්ද මහ පොළොව

නැගිටපන් හීනයෙන්
බලන් වටපිට නුඹේ
කෝ සතුට නුඹට දුන්
සති දෙකක වසන්තය

පෙර පෑව සිනාවන්
යළිත් මතකෙට අරන්
සුසුම් ලාපන් ඉතින්
කඳුල වියලෙනාකල්

යළි වසන්තය ඇවිත්
දොඩා බොරු පෙම් වදන්
කැන්දලා නුඹෙ මුවට
රෝස පැහැ සිනාවක්

අමතකයි නුඹට ඒ
ගුරුපාට අතීතය
ආයෙත් රෝසපාටයි
නුඹේ මුළු ලෝකයම

හිනැහියන් සන්තොසින්
කෑගසන් ප්‍රීතියෙන්
රැවටියන් හැමදාම
සතිදෙකේ වසන්තයට...

ඡායාරූප: පවිත්‍ර මධුසංක සොහොයුරාගෙන්

Friday, May 4, 2012

වෙසක් කාඩ් මුදලාලිගේ අළුත් බුද්ධාගම...

දැන් ඉතින් අළුත් ක්‍රමේට ෆොටෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා යාළුවො ටික ටැග් කරනවා මිසක් ඉතින් කවුද වෙසක් කාඩ් යවන්නේ... ඕවට මුද්දර ගහලා තැපැල් කන්තෝරුවක් හොයාගෙන ගිහිල්ලා ඕක තැපෑලෙන් යනකොට ඊලඟ අවුරුද්දෙ වෙසක් වලට තමයි ලබන්නාට ඕක කියවන්න වෙන්නෙ. මම පුංචි කාලෙ ලියපු ඔන්න ඔය වගේ වෙසක් කාඩ් තාම මා ගාව තියෙනවා. ඒවට මුද්දර එනකන් තාම බලන් ඉන්නවා. හි හි..

හැබැයි අතේ තැපැල් සේවය නම් හරිම විශ්වාසවන්තයි.ඇඩ්ඩ්‍රස් එක තමයි, බුලත් කෙල පාර, පඩික්කම. නැත්නම්, අතේ තැපල්, කටේ ඇපල් මුද්දරේට තියෙන චූටි කොටුවෙ මොකක් හරි බලියක් අඳින්න අමතක කරන්නෙත් නෑ.
මලයටයි මටයි ෆේස්බුක් තිබ්බට නංගි ඉතින් තාම පොඩි එකානෙ. ඉතින් අම්ම එයාට අද අර රුපියල් දෙකයි පනහේ වෙසක් කාඩ් ටිකක් ගෙනත් දීලා. ඒ කිව්වෙ අර පෝස්කාඩ් වගේ ඒවා. කවරයක් නෑ. ඉතින් අම්ම මට වෙසක් කාඩ් ගෙනාවෙ නෑ කියලා වලියක් දාන ගමන් ඔය ටික බල බල ඉන්නකොට මෙන්න බොලේ වැඩක්.වැස්සකටද කොහෙද දහම් පාසල් ගිහින් තිබුන නිසා වෙන්නැති මගේ ටිංකිරි මොලේට මතක් උනා "ඈ දෙයියනේ සුජාතාව කිරිපිඬු දන් දුන්නේ බුදුහාමුදුරුවන්ට නෙමෙයි සිදුහත් තාපස තුමාට නේද" කියලා.. ඒ කිව්වේ බුදු වෙන්න කලින් වළඳපු අවසන් ආහාරයනේ... මෙව්වා කොහොමද සත් සතියෙදි උනේ??? එතකොට මේ වෙසක් කාඩ් වල තියෙන්නෙ මොනාද? හොඳට ඇස් ඇරලා බලන්නකෝ...

මේ තියෙන්නෙ පලවෙනි කාඩ් එක

 මේ දෙවෙනි එක

  තව වැරැද්දක් තියෙනවා... බුදු රැස් මාලාවෙ තියෙන්න ඕනෙ බෞද්ධ කොඩියෙ තියෙන පාට ටිකනෙ,
ඒ කියන්නෙ නිල්, කහ, රතු, සදු, තැඹිලි, ශඩ් වර්ණ කියන පාටවල් නේ... එතකොට කොල පාට කොහෙන්ද ආවේ...

මෙතන තියෙන ප්‍රශ්නය මේකයි, පොඩි කාලෙ ඉඳන්ම මං වගේ මැට්ටොන්ට පාඩම් පොත් වලින් පාඩම් කරන දේවල් වලට වඩා අහන දකින දේවල් වලින් තමයි මතක හිටින්නේ. ඉතින් ඔය වෙසක් කාඩ් එක කවුරු හරි පොඩි එකෙක් බලලා මතක හිටලා ගිහින් විභාගෙට ලිව්වොත්,


සුජාතාව කිරිපිඬු දන් දුන්නේ සත්වන සතියේය.
බුදුරැස් මාලාවේ වර්ණ සුදු, රෝස, තැඹිලි, කහ, කොල ය.

කියලා... ඉතින් එතකොට පවුනේ අසරණ පොඩි එකා...

ප.ලි, ඔය කවි වලට හිස් තැනක් තියන්නෙ දාන්න වචනයක් හොයාගන්න බැරි උනාමද?

Saturday, April 28, 2012

සොයුරිය ඔබට නිවන් සුව...


උඹත් මමත් මේ බදුල්ලට ආවෙ එකම හීනයක් හිතේ දරාගෙන
ඒත් අද උඹ ඒ හීනෙ අතෑරලා ගිහින්
මම කොහොමද දරාගන්නෙ
ආයෙ උඹව දකින්න වෙන්නෙ නැති වග
හෙට නැත්නම් අනිද්දා
ආයෙත් එකම එක වරක් දකීවි
ඒත් එදාට උඹ මනමාලියක් වෙලා
දෙවනි මනමාලියො නැති
මල් කුමාරියො නැති
උඹේම මගුල් ගෙදරක
ඒත් අපි ආවා බලන්න උඹ ඇස් අරින්නෙ නැති වේවි
හොස්ටල් එකේදි උඹ අපේ කාමරේ
අනිත්‍ය සාමාජිකයා වෙලා හිටපු කාලෙ
එක බත් පත කාලා එකට හිනාවෙලා එකට අඬලා
දෙවනත් වෙන්න සින්දු කියලා මැඩම්ලගෙන් බැනුම් අහලා
කොච්චර සුන්දර මතකයක්ද
ඒත් ඒ මතකයත් එක්ක හිටපු උඹ අද නෑ
glamouro එකේදි CST එකට ගෑනු ළමයින්ගෙ අඩුව පුරවන්න ආපු උඹ
අද දිව්‍යලෝකෙ අඩුවක් පුරවන්න ගිහින්....

උඹට නිවන් සුව ලැබේවා මගෙ කෙල්ලේ...

Monday, March 5, 2012

කාල රාක්ෂ...


ළබැඳි උණුසුම
ඈත දිවයන
අවසනක් නොවන 
අවසන අතලඟ
තවත් එක්විසි 
දිනක් වග දැන
සිතේ පතුලට
යගුලි ඔබමින්
එබර නෙතු අග
සිසිල කරමින් 
තටු ලැබ ඉගිලෙන 
වියරු කාල රකු...


 

Saturday, March 3, 2012

තාරා vs ගැරඬියා...

ඔන්න තාරාත් අළුත් domain name එකක් ගත්තා... ගත්තා කිව්වට මේකත් මේ නිකන් දෙන එකක්.. ඒත් මේක ටිකක් ලස්සනයි වගේ කලින් තිබ්බ එකට වඩා... thaaraa.tk තමයි තාරා බලන්න එන්න පුළුවන් අළුත්ම පාර.



 හරි... දැන් ගැරඬි කතාව...

මම මේ ලඟදි පත්තරේක දැක්කා ආච්චිඅම්මා කෙනෙක් ළමයෙක්ව පොඩි කාලෙ සමනල්ලුන්ට බය කරවලා ඒ ළමයා ලොකු වෙලත් සමනල්ලුන්ට බයෙන් හිටපු කතාවක්. මේකත් ටිකක් ඒ වගේ තමයි සමනලයෙක් නම් නෙමෙයි... ගැරඬියෙක්... මාව නම් කවුරුත් බය කරලා නෙමෙයි මන් හිතන්නෙ.

 තාරා ඒලෙවල් පලවෙනි පාර කලාට පස්සෙ මැරුනත් ආයෙ නම් ඒලෙවල් කරන්නෙ නෑ කියලා ගෙදර හිටපු කාලයක් තිබුනනෙ. අන්න ඒ කාලෙ ගෙදර ඉඳලා අප්පිරියා වෙන්න කලින් ජොබ් එකකට යන්න ඕනෙ කියලා ගියා. ඒක සුදු යකඩ අත්වැටවල් ගහන පොඩි තැනක්... පොඩි ඔෆිස් එකකුයි workshop එකකුයි තිබුනා... මට තිබුනෙ graphics වලින් අත්වැටක් ඇඳලා quotation හදල දෙන්නයි.. මේ පොඩි ඔෆිස් එකේ හිටියෙ මමයි බොසායි විතරයි. මට වැඩි වැඩත් නැති එකේ දවසක් ඔෆිස් එකට වෙලා ඔහේ ඉන්නකොට මගේ පුටුව ලඟම තියෙන ග්ලාස් පාටිෂන් එක දිගේ මෙන්න එනව ගැරඬියෙක්...

මට පෙනුනෙ හරියට මූ කකුල් දෙක ලඟින් යනවා වගේ... ඊටපස්සෙ ඉන්නෙ ඔෆිස් එකේ කියල අමතක වෙලා කකුල් දෙකත් පුටුව උඩට අරන් ගිරිය යටින් මොරදෙන්න පටන් ගත්තා... ගැරඬියෙක් වගේ සතෙක් දකිනකොට හිතල නෙමෙයි... ප්‍රතීක ක්‍රියාවක් වගේ තමයි කෑගැහෙන්නෙ... ටික වෙලාවකට පස්සෙ තමයි ඉන්න තැන මතක් වෙන්නෙ..

 ඒක නෙමෙයි හොඳම කොටස... බොසාත් ඔෆිස් එක ඇතුලෙ හිටියනෙ. මම යටිගිරියෙන් කෑගහපු පාර ඒ මනුස්සයා හොඳටම බයවෙලා තප්පර 2 කින් විතර මන් හිටපු තැනට ආවා... සාමාන්‍යයෙන් නම් බොසාගෙ ටේබල් එක තියෙන විදිහ නිසා ඒකෙන් එලියට එන්න එයාට විනාඩි 5ක් විතර යනවා... ඒ ටේබල් එක අඩ කවයක් වගේ. බිත්තියයි ටේබල් එකයි අතර පුංචි පරතරයක් තියෙන්නෙ. බොසාගෙ තඩි බඩත් උස්සන් ඔතනින් රිංගලා එන්නෙ හරි අමාරුවෙන්. සේරම කලබල ඉවර උනාට පස්සෙ මම slow motion flashback එකක් කරලා බැලුවාම මට මතක් උනේ...

බොසා එයාගෙ පුටුව උඩට නැඟලා මේසෙට උඩින් පැනලා තමයි මම ඉන්න තැනට තත්පර 2 කින් විතර ආවෙ. පව් අප්පා...

දුවගෙන ආවට පස්සෙ කෑගැහුවෙ ගැරඬියෙක් දැකලා කියලා දැනගත්තාම නම් ඒ මනුස්සයට මගෙ බෙල්ල මිරිකන්න හිතෙන්න ඇති... ඒ උනාට මොකුත් කිව්වෙ නෑ... හොඳ මනුස්සයා....

දැන් ඉතින් දුවගෙන ආවට මදිනේ... ගැරඬිය එලවන්නත් එපැයි. ඒ ගැරඬියට පිස්සු හැදිලා... ඒ ගිනි මද්දහනේ ඌ වීදුරුවෙන් උගේම ඡායාව දැකලා නටනවා.. එතනින් යන්නෙත් නෑ... මගේ කෑගැහිල්ල නවතින්නෙත් නෑ... පුටුවෙන් බහින්නෙත් නෑ.. ඇයි මට පේන්නෙ ඌ මගේ කකුල් දෙක ලඟ ඉන්නව වගේ... පස්සෙ workshop එකේ වැඩ කරපු කට්ටිය භූමිතෙල් පාරක් ගහලා ඌව එලවලා දැම්මා... ඒතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ...

ටික කාලයක් යනකන් ඔෆිස් එකේ ඔලුව උස්සගෙන ඉන්න බැරි තත්වයක් තමයි තිබුනේ. ඇයි දෙයියනේ සුළුපටු ලැජ්ජාවක්ද...

ඒක "තාරා vs ගැරඬියා" චිත්‍රපටියේ එක ජවනිකාවක් විතරයි... තව සෑහෙන අවස්ථා වලදි තාරා ඇන්ඩ් ගැරඬියා මුහුණට මුහුණ මුනගැහිලා තියෙනවා, ගෙදරදි, බෝඩිමේදි, පාරෙ තොටේදි, දවසක් කැම්පස් එකේදිත් මුණගැහුනා... ඒ ගොඩක් අවථා වලදි තාරා සහ ගැරඬියා දෙන්නට දෙන්නා බයවෙලා දුවනවා.... පස්සෙ හොයා බැළුවාම පේනවා ඒ දුවපු ගැරඬි බොහෝ දුරට අධි සංඛ්‍යාත ශබ්දය දරාගන්න බැරිවෙලා බීරි වෙලා කියලා...

 

Friday, February 24, 2012

පුංචිබොරැල්ලේ පොලිස් මහත්තයා... - අමතක නොවන චරිතයක්

තාරා අධිශ්ඨානයක් කර ගත්තා.. බ්ලොග් එක පාලු වෙන්න දෙන්නෙ නෑ කියලා. සතියකට එකක් වත් අඩු ගානේ පෝස්ට් දානවා... එහෙමයි කියලා සතාටම මඩ ගගහ ඉන්න පුලුවන් යෑ.... ඉහින් මම අතීතාවර්ජනයක් කරන්න පටන් ගත්තා... ඒ කිව්වේ අර "දුමී බබා කාලේ" වගේ "තාරා බබී කාලේ" එහෙම නෙමෙයි.. ඊට වඩා ටිකක් ලොකු කාලේ...

අපි අව්වේ ගමනක් යන්න කොච්චර අකමැතිද.. විශේෂයෙන්ම කොළඹ. දූවිලි, දුම් කාගෙන, දාඩිය නාගෙන.... ශා.... දැනෙන සනීපෙ. ඒත් කොච්චර අකමැති උනත් රාජකාරිය නිසා එහෙම පාරක් මැදට වෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද... මේ කියන්නෙත් එහෙම කෙනෙක් ගැන.

තාරා 6 වසර වෙනකන් තාත්ත් එක්ක මොටර් සයිකලේ ඉස්කෝලෙ ගියාට මල්ලි 3 වසරෙන් පස්සෙ තාත්තගෙ ඉස්කෝලෙට යන්න පටන් ගත්තට පස්සෙ තාර‍ට බයික් එකේ ලැගේජ් එකේ එල්ලිලා තමයි යන්න උනේ. ඉතින් ඕක කරන්න බැරි නිසා තාත්තා තාරට සීසන් එකක් අරන් දීලා බස් එකේ යන්න පුරුදු කලා. ඊට පස්සෙ තාරා 7 වසරෙ මැද ඉඳන් බස් එකේ තමයි ගමන බිමන... උදේට පාරෙ බස්. හවසට ස්කූල් බස්.

උදේට පාරෙ බස් එකේ ගිහින් පුංචි බොරැල්ලෙන් බැහැලා ඉතුරු ටික කකුල් දෙකට වැඳ වැඳ දුවනවා. හැමදාම පරක්කුනේ. ඔතන හංදියෙදි මහ තඩි පාරක් තියෙනවනෙ පනින්න. තාරගෙ පාර පැනිලි ගැන ඉතින් දන්නවනේ... දන්නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඉතින් මෙතන ඉස්කෝලෙ ලමයින්ට පාර පනින්න වාහන නවත්තලා දෙන්න පොලිස් අංකල් කෙනෙක් හිටියා... තාරට නම් ඉතින් දෙයියෙක් වගේ. එතකොට පනිනවද නැද්ද පනිනවද නැද්ද කියලා හිත හිත ඉන්න ඕනෙ නෑනෙ.

එයා තමයි අද කතාවෙ කතා නායකයා.. (පූර්විකාව දිග වැඩිද මන්දා). ඉතින් ඔය අංකල් අවුරුදු ගානක්ම ඔතන හිටියා. හැමදාම හිනාවෙලා "ගුඩ් මෝනිංග් දුව.." කියනවා.. මමත් "ගුඩ් මෝනිංග් අංකල්" කියලා පාර පැනලා යනවා... දවසට හොඳ පටන්ගැන්මක්... ඉඳලා හිටලා දවසක අංකල් හිටියෙ නැත්නම් හරි දුකයි.. ගුඩ් මෝනිංග් කියන්න කෙනෙකුත් නෑ. පාර පන්නන්න කෙනෙකුත් නෑ. මොකද අනික් දවසට වැඩි වයසක් නැති රාලහාමිලා අපිව පාර පන්නන්නෙ නෑ. එයාලට වාහන වල රෝද ගනිනවා වගේ වැදගත් රාජකාරි තියෙනවනෙ.... ඔන්න ඔහොම කාලය ගෙවිල ගියා.

එක පාරක් සති 2ක් විතර අංකල් පුංචිබොරැල්ලෙ නැතුව හිටියා... ඒ කාලෙ නාරාහේන්පිට බෝම්බයක් පිපිරුවා. අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙ තාත්ත කෙනෙකුත් ඒකට අහු උනා.. ආරංචිය ආවෙ එයත් පොලිසියෙ වැඩ කලේ කියලා. පුංචිබොරැල්ලෙ ඩියුටි කලාලු. මේක ඇහුවාම මට පුදුම විදිහට බය හිතුනා.. අපි මල ගෙදරත් ගියා.. බෝම්බයක් නිසාද කොහෙද මිනිය ටිකක් කලු වෙලා. මූන ඇරෙන්න මුළු ඔලුවම බැන්ඩේජ් කරලා තිබුනෙ. මට පෙනුනෙ එයා අර අංකල් වගේමයි.. මට ඉහිලුම් නැතුව ගිහින් මිනිය ලඟදි හයියෙන් කෑ ගහලා ඇඬුනා... ළමයි හැමෝම ඇහුවා ඇයි මම අඬන්නෙ කියලා... පස්සෙ කට්ටියටම කිව්වා... මම හරි දුකෙන් ඒ දවස් ටිකේ හිටියෙ.

ඒත් එක දවසක් උදේ මම අංකල් ආයෙත්  පුංචිබොරැල්ලෙ ඩියුටි ඇවිත් හිටියා... මට පුදුමම සතුටක්... මිනිය දැක්කම මම රැවටිලා.. යාළුවො සේරම මට හිනා උනා හොඳට ඉන්න මනුස්සයෙක් මැරිලා කියලා ඇඬුවා කියලා. ඒත් මමනෙ දන්නෙ....

ඔන්න ඔහොම තවත් අවුරුදු ගානක් ගෙවිලා ගිහින් මම 12 වසරෙදි අංකල් එක දවසක් මම පාර පනිද්දි කිව්වා "පුතේ මම ලබන සතියෙ පෙන්ශන් යනවා" කියලා... ඉතින් අපි උදේට එතනින් එන යාලුවො ටික සෙට් වෙලා අංකල් ට තෑග්ගකුයි කාඩ් එකකුයි දුන්නා.. ලී වලින් හදපි පුංචි නැවක් තමයි දුන්නෙ... මොකද....

අංකල් මහ ලොකු නැවක් වගේ අපිව හැමදාම වාහන සාගරෙන් එතෙර කරපු නිසා...

නමක් ගමක් දන්නෙ නැති උනත් අදටත් මට අංකල් ව ගොඩක් මතක් වෙනවා... පස්සෙ කාලෙක මගෙ යාලුවට අංකල් ව බස් එකකදි හම්බෙලා කතා කරලා තිබුනා.. දැන් සෙකියුරිටි ෆර්ම් එකක වැඩ කරනවලු. එච්චරයි දන්නෙ.. ඊට පස්සෙ කිසිම ආරංචියක් නෑ.

මේක කියවන කවුරු හරි ඒ අංකල් ව දන්නව නම් කියන්න... අපිට එයාව ගොඩක් මතක් වෙනව කියලා.. එයා පරෙස්සමින් පාර පන්නපු ළමයි අද හොඳට ඉගෙනෙගෙන හොඳ තැන් වල ඉන්නවා කියලා අහන්න එයා හරි සතුටු වේයි.... ඒ පිනම ඇති.... නිරෝගීව අංකල්ට දීර්ඝායුෂ ලබන්න...

ප.ලි. මේක මගේ දිගම පෝස්ට් එක ද කොහෙද... ජයවේවා...

Wednesday, February 22, 2012

හමුදාවේ අලුත්ම නිළය... සහ අලුත්ම මුස්ලිම් නම...

මුලින්ම කියන්න ඕනෙ මේක හමුදාවෙ කාටවත් වත් ඉස්ලාම් සහෝදරයෝ කාටවත් වත් අපහාසයක් කරන අදහසින් ලියපු එකක් නෙමෙයි.



මගේ බ්ලොග් එක කියවන ගොඩක් කට්ටිය දන්නවනෙ ඉතින් කවුද ක්‍රියේටිව් සතා කියන්නෙ කියලා... දන්නෙ නැත්නම් ඔන්න.... ක්‍රියේටිව් සතා කියන්නෙ අපේ බෝඩිමේ ඉන්න සත්තු (සත්ව විජ්ජාව උපාධිය හදාරන) හතර දෙනාගෙන් ක්‍රියේටිව් ම සතා... ව්වැඩිදුර විස්තර ඕනෙ නම් මේ පෝස්ට් එක බලන්න..  ආ තව තියෙනවා... පර්සියන් පූසගෙ කතාව, අත්තිවාරමේ කතාව.මතක් කර කර බඩ පැලෙන්න තරම් රස කතා ගොඩක් මෙයා කියනවා.. එයින් මතක් වෙන ටිකක් තමයි මම මේ ලියන්නෙ...

මේක අපේ ක්‍රියේටිව් සතාගෙ තවත් ක්‍රියේටිව් අදහසක්....

ක්‍රියේටිව් සතා: ඔයා බැලුවද අර 'ගාමණී' ෆිල්ම් එක?
අයියා (boy friend): ආ ඔව් බැලුවා.. ඒක හරි ලස්සනයි... ඒක හදල තියෙන්නෙ හමුදාවෙ අද්මිරාල් කෙනෙක් ද කොහෙද නේද?
සතා: හ්ම්ම්......ආ ඇත්තද?
(විනාඩියකට විතර පස්සෙ)
 ඉතින් මුස්ලිම් අයත් හමුදාවෙ ඉන්නවද?
{මෙයාගෙ ක්‍රියේටිව් මොලේට වැටිලා තියෙන්නෙ අද්මිරාල් කියන්නෙ මුස්ලිම් නමක් කියලා...}

තවත් දවසක...

ක්‍රියේටිව් සතා: මේ... අර ගාමණී ෆිල්ම් එක හරි ලස්සනයි නේ... අයිය කිව්ව ඒක අර හමුදාවෙ ඉන්න අබ්දුල්ලා කෙනෙක් හදලා තියෙන්නෙ කියලා....
චතූ: කවුද බං හමුදාවෙ ඉන්න අබ්දුල්ලා?
සතා: ඇයි බං අර හමුදාවෙ පෝස්ට් එකක් තියෙන්නෙ...

{හිතාගන්න පුලුවන්නේ...}

ප.ලි. මේ සතා නොහිටියා නම් මගේ බ්ලොග් එක කැලේට යනවා නිකංම

Sunday, February 5, 2012

තාරා ගේ ස්වර්ණ ජයන්තිය....

ම්................. ඔන්න කොහොම කොහොම හරි අමාරුවෙන් පෝස්ට් 50 සම්පූර්ණ කරගත්තා.

මේක 50ක් කරගන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගියා. කම්මැලි කම පැත්තක තියලා ලිව්වා නම් හරි. ඒත් මොනව කරන්නද මේකට බෙහෙත් නෑනෙ. හි හි.... අදත් පෝස්ට් එකකට මාතෘකාවක් කල්පනා කරකර ඉන්නකොට තමයි දැක්කේ මේ ලියන්නෙ 50 වෙනි එක කියලා.

මුලින්ම මම ස්තූති කරන්න ඕනෙ කැළණිතිස්ස අයියට. එයා තමයි මටත් අයිඩියා එක දුන්නෙ සිංහල බ්ලොග් එකක් ලියන්න. ඒ වගේම මෙච්චර කාලයක් මගේ බ්ලොග් එක බලන්න ආපු, ෆලෝ කරපු, කමෙන්ට් කරපු හැම දෙනාටම මම ගොඩාක් ස්තුති කරනවා.

මොන මොනවා හරි පිස්සු ටිකක් ලියනවා කියල හිතල පටන් ගත්තට මේ බ්ලොග් එක මට දුකට සතුටට හිටපු යාළුවෙක් වගේ උනා.. කාටවත් කියාගන්න බැරුව හිතේ හිර වෙලා තිබුනු අදහස් ගොඩක් නිදහස් කරන්න මේක මට හොඳ තැනක් උනා.. සතුටු හිතුනු, තරහ ආපු, දුක හිතුනු.... හැම වෙලාවකම ඒ හැම දෙයක්ම ලෝකෙට ඇහෙන්න කෑගහලා කියනව වගේ මට දැනුනා...

එක මුල්ලකට ගුලි වෙලා දවස් ගානක් අඬන්න පුළුවන් තරම් දුක පවා දැනුනු වෙලාවල් වලදි, ඒක ලිව්වාම ගොඩක් සහනයක් ලැබුනා.. ඒවා කියවලා ඔයාලා දීපු අදහස් එක්ක ඒ දුක අමතක කරලා දාන්න පුළුවන් උනා. අවුරුදු 3 කට ආසන්න කාලයක් මගෙත් එක්කම හිටපු යාළුවෙක් කියපු කෙනෙක් මට හීනෙන්වත් හිතන්න බැරි තරම දෙයක් මට කරපු වෙලාවෙදිත්, තාත්තව මතක් වෙන හැම වෙලාවකදිමත් මට කෑ ගහලා කියන්න මගේ බ්ලොග් එක උදවු උනා. හැබයි ගිය අවුරුද්දෙ අන්තිම, ඔපරේශන් එකකින් තාත්තගෙ කකුලෙ මහපට ඇඟිල්ලත් එක්ක කකුලෙ කෑල්ලක් අයින් කරපු වෙලාවෙ ඒ දැනිච්ච වේදනාව නැති කරගන්න නම් බ්ලොග් එකෙන් බැරි උනා. කොහොම ලියන්න උත්සාහ කරත් බැරි උනා. අන්තිමට බ්ලොග් ලිවිල්ලත් එපා උනා. ඒකයි කාලයක් නිශ්ශබ්දව හිටියෙ.

හ්ම්......... මේ පෝස්ට් එකත් සංවේදී වැඩි වේගෙන එනවද මන්දා.

කවි වලින් කියපු දේවල් නම් එච්චර තේරෙන්න නැතුව ඇති.. ගොඩක් අයට මගේ කවි තේරෙන්නෙ නෑ.. ඒක අතකට ඒකත් හොඳයි. මොකද මම ලියන ඒවා පස්සෙ කියවනකොට මටම ලැජ්ජා හිතෙනවා.. "තාරා" කියන්නෙ අඥාත චරිතයක් කියලා හිතුවට දැන් ගොඩ දෙනෙක් මාව අඳුනනවා...


ඔන්න ඔහොම කොහොමින් කොහොම හරි මමත් යාන්තම් පෝස්ට් 50ක් සම්පූර්ණ කරගත්තා. ඉස්සරහටත් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මෙච්චර කල් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝම දිගටම මාත් එක්ක ඉඳියි කියලා හිතනවා...

Saturday, January 14, 2012

අත්තිවාරමක් පරණ වෙන්න කොච්චර කල් තියන්න ඕනෙද???


හා පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න බලන්න ඔය උඩින් අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ...........

ඕකට හරිම උත්තරේ නම් මමත් දන්නෙ නෑ. ඒත් අපේ ක්‍රියේටිව් සතා නම් දන්නව මම හිතන්නෙ.

මෙන්න මේකයි කතාව.

ආ..... කලින් පූර්විකා කොටසකුත් තියෙනවා. සමහර මිනිස්සු ගෙවල් හදන්න ඉතින් ඔය නැකතක් එහෙම බලලා අත්තිවාරමක් (සිංහලෙන් කියනවනම් බවුන්ඩේසමක්) දානවනෙ. ඉතින් ඊට පස්සෙ සල්ලි ඉවර වෙනවා. ආයෙ සල්ලි හම්බෙනකං අර අත්තිවාරම පැල වෙනවා. ගොඩක් තැන් වල මේ දේ සිද්ද වෙනවා. හොඳට සල්ලි තියෙන කෙනෙක් තමයිනෙ එකපාර ගේ හදන්නෙ. අපේ තාත්තලා වගේ රජයේ සේවකයන්ගෙ ගෙවල් ඔහොම්මම තමා.

(පූර්විකාව දිග වැඩි උනාද මන්දා...)

ඔන්න දවසක් අපේ බෝඩිමේ වට මේස සාකච්චාව දාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම දෙබසක් ගියා.

ක්‍රියේටිව් සතා: අනේ මම නම් අයියට (එයාගෙ බොයි ෆ්‍රෙන්ඩ්) කියන්නෙ අපි බැන්දාම හදපු ගෙයක් සල්ලි වලට ගමු කියලා.

සතා 1: ඇයි අනේ ඒ... එතකොට අපරාදෙනෙ. අපිට ඕන විදිහට ලස්සනට ගේ හදාගන්න බෑනෙ. වෙන කෙනෙක්ට ඕන විදිහටනෙ හදලා තියෙන්නෙ.

ක්‍රියේටිව් සතා: ඒ උනත් ගෙවල් හදන්න සෑහෙන කල් යනවනෙ...

සතා 2: නෑ එහෙම නෑ. එකපාර ගෙයක් ගන්න සල්ලි තියෙනව නම් ඉතින් එකපාර සල්ලි වියදම් කරලා ඉක්මනට හදාගන්නත් පුළුවන්නෙ.

ක්‍රියේටිව් සතා:සල්ලි තිබිලා විතරක් බෑනෙ. ඔය අත්තිවාරම එහෙම පරණ වෙන්න තියන්නත් එපැයි සෑහෙන කාලයක්.

සතා1: ඈ............. ඒ මොකටද අත්තිවාරම පරණ වෙන්න තියන්නෙ?

ක්‍රියේටිව් සතා: ඔය ගෙවල් හදනකොට අත්තිවාරම පරණ වෙන්න තියනව නේද...? මම දැකලා තියෙනවා.. අපේ පැත්තේ හදපු ගෙවල් ඔක්කොම එහෙම තමයි. අත්තිවාරම දාලා අවුරුද්දක් විතර පරණ වෙන්න තියල තමයි ගේ හැදුවෙ...

එතනින් එහාට දෙබස ඉවරයි. ක්‍රියේටිව් සතා ඇර ඉතුරු අයට හිනාව නවත්තගන්න පැය ගානක් ගියා....

Wednesday, January 11, 2012

දෙවිඳුට බඹුට වැරදුනු තැන...


සකි ඔබ දුටිමි මහ මඟ ජන ගඟ මත්තේ
මුව නොම බසිනි ඔබ තරඟය ජය ගත්තේ
මුව නොදෙඩුවද ඔබ යහගුණ දැන ගත්තේ
අම්මා අපේ නැත ඔබ පසු කර යත්තේ

දකිනෙමි නිතිපතා පසිඳුර යහපත්තු
එලෙසම දකිමි උන් නිති අත පා ගත්තු
දෙවියනි බඹුනි දෙව් බඹ ලොව යහපත්තු
සකි වෙත නොදුන් මුව ඇයි ලඟ අර සත්තු...

Monday, January 2, 2012

හැමෝටම සුභ නව වසරක් වේවා....

අවුල් තැවුල් දුක් කරදර නොම වේවා...
සිතේ පැතුම් පොඩි මල්ඵල ගැන්වේවා...
ආයු වර්ණ සැප බල නැණ වැඩි වේවා...
පතමි ඔබට සුභ නව වසරක් වේවා...

ඇළුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන හැමෝටම, සියළු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...

*කවියේ නිර්මාපකයා මම නොවෙමි...

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...