පදික මාරු සංඥා වල රතු එලිය වැටිලා තියෙනකොට මොකද කරන්නේ?????
පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කියල හිත හිත ඉන්නවා...
ඒක තමයි මට නම් දෙන්න තියෙන උත්තරේ... :-(
අද තාරා තනියම කොළඹ ඇස් වාට්ටුවට ගියා... හපෝයි... දැන් වාහනයක් පැදගෙන යනවට වඩා මාර්ග නීති අනුගමනය කරන්න තියෙනව පදිකයන්ට... එපා වෙන්නෙම පාර මාරු වෙන තැන් වල තියෙන කලර් ලයිට්. ඉස්කෝලෙ යන කාලෙ දැකපු ඇක්සිඩන්ට් එකක් නිසා තාරා අදත් පාර පනිනකොට ටිකක් බයයි. කරුමෙට හරි පාර පනින තැනට ආවම රතු ලයිට් එක නම් තියෙන්නෙ, අනාථයි. පාරෙ යන එන වාහනත් අඩු නම් ඊටත් වඩා අනාථයි. ගොඩක් වාහන යනව නම් එච්චර අව්ලක් නෑ. කොල පාට වැටෙනකන් බලාගෙන ඉන්නවා. ඒත් වාහන අඩුයි නම් අනික් මිනිස්සු පනිනවනෙ. එතකොට මම පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කිය කිය කල්පනා කර කර ඉන්නව. එතකොට නිකම්ම කොල පාට වැටෙනවා. ඒ වෙනකන් අනික් මිනිස්සු පනිනවා. මං බලාගෙන ඉද්දි ආච්චිලත් පනිනවා. දුකේ බෑ.
ඔයාලත් දැක්කොත් කහ ඉරක් ගාව ගැහි ගැහි ඉන්න බයගුල්ලෙක්, එ සමහර විට මම වෙන්නැති...
අද නම් මහ ජරාම දවසක්. වෙච්චි ඊලඟ චාටර් වැඩේ උනෙත් මාර්ග නීති පිලිපදින්න ගිහින් තමයි. හොස්පිට්ල් එකේ ඉඳන් ආපහු එද්දි 138 බස් එකට නගින්න united motors එක ගාව තියෙන ලොකු ගහ යටට ගියා. අනේ එතන බස් නවත්තන්නෙ ට්රැෆික් එකේ. ඒකත් අයිනෙ මන්තීරුවෙ නෙමෙයි, මැද. ඉතින් තාරා කොහොමද බස් එකට නගින්නෙ??? මට මතක් උනා ඊට කලින් තාත්තත් එක්ක ආපු දවසක දැක්කා එතන නිල බස් හෝල්ට් එක තියෙන්නෙ තව මීටර් 50ක් විතර ඈතින් කියලා.. ඉතින් ඇවිද්ද පය දහස් වටී කියලා එතනට ඇවිදගෙන ගියා...
එතනට ගියාම මට අඬන්න හිතුනා.
"මෙම ස්ථානයේ තිබූ බස් නැවතුම්පොල ඉවත් කරන ලදි" මට පුදුම කරුණාවක් දැනුනා...
ආපහු පස්සට යන්නත් දැන් නිකන් ලැජ්ජයි වගේ.. චාටර් කෝටියයි..... ආයෙමත් ඇවිද්ද පය දහස් වටී කියලා, හිතට ධෛර්යය අරන් කීයට හරි බස් හෝල්ට් එකක් හම්බෙනකන් ඉස්සරහට ගියා.
යනවා යනවා ඉවරයක් නෑ. අන්තිමට වොක්ෂෝල් වීදියත් පහු කරලා පිලිප් ගුණවර්ධන ග්රවුන්ඩ් එක ලඟ බස් හෝල්ට් එකක් වගේ එකක් තිබුනා. එතනත් කලර් ලයිට් වලම නවත්තලා තිබුනු බස් එකකට ඕන දෙයක් වෙච්චාවෙ කියලා ගිහින් නැග්ගා. සීට් එකක වාඩි උනාම කකුල් 2ට නිවන් ගියා වගේ. ඒ බස් එකත් ආපහු මන් අර කලින් හිටපු කලර් ලයිට් ගාවම ඇවිත් නැවැත්තුවා. මැද් මන්තීරුවෙ. මිනිස්සු රොත්තක් ගානක්වත් නැතුව දුවලා ඇවිත් නැග්ගා. අනේ මම විතරයි මෝඩයා...