අද නම් කියන්න යන කතාව බෝඩිම ගැන නෙමෙයි. මේක අර ගැරඬියා ආපු ඔෆිස් එකේ ඉන්න කාලෙ වෙච්චි එකක්. ඒ ලෙවල් පලවෙනි පාර කරලා, මැරුනත් ආයෙ නම් කරන්නෙ නැ කියලා ගෙදර හිටපු කාලෙ. ඒ කියන්නෙ මටම වෙච්චි දෙයක්. මම ෂර්ලොක් හෝම්ස් ගේ ක්රියා පටිපාටිය අනුගමනය කරල කරපු වීර ක්රියාවක් ගැන. ඔය බස් වල යන ගමන් කෙල්ලන්ට කොකම් පපා යන කට්ටිය හොඳට අහගන්න...
ප්රධාන බස් පාරෙ ඉඳන් අපේ ගෙදරට එන්න පැය කාලක් විතර පයින් යන්න ඕනෙ. ඕක තමයි ඉතින් තියෙන අමාරුම වැඩේ. ඉස්කෝලෙ යන කාලෙ නම් කට්ටිය එක්ක කෑ ගගහ පාර දෙවනත් කරගෙන එනකොට ඔය දුර දැනෙන්නෙ නෑ. ඒත් මේ ජොබ් එකට යන කාලෙ පයින් යනව එනව කියන්නෙ මරනව වගේ. ලංගමෙන් ඒ වෙනකොට අපේ පාරට එක බස් එකක් දාලා තිබුනා. ඒක පැයකට සැරයක් එහාට මෙහාට යනවා. ඉතින් එතකොට නම් හොඳයි. ඒ බස් එක නම් අපේ ගේ ගාවින් ම යනවා. මම වැඩ කරපු තැන තිබුනෙ මහ දුරක නෙමේ. අර ප්රධාන බස් පාරට හැරෙන හංදියෙ.උදේ 8.20 ට යන බස් එකේ සෙනඟ කට කපල හිටියත් මමත් ඉතින් කොහොම හරි නැඟල යනවා. පයින් යන්න කම්මැලි කමටම.
මේ කියන කාලෙ වෙනකොට මම මාස 2ක් විතර එතන වැඩ කරලා පඩියක් එහෙම අරන්, ඒකෙන් චූටි ෆෝන් එකකුත් අරන් හිටියෙ. Nokia 1200 එකක්. ඒත් මමම හම්බ කරලා ගත්තු එක නිසා පුදුම ආදරෙයි. ඒකට ක්රිස්ටල් කවරයක් දාලා, පටියක් දාලා (ඒ නම් මගෙ අතින් හැම වෙලේම වැටෙන නිසා...), කෝල් එකක් එනකොට ලයිට් පත්තු වෙන ස්ටිකර් එකකුත් පිටිපස්සෙ අලවලා තිබුනෙ.
දවසක් මම ෆෝන් එකත් කලිසමේ සාක්කුවෙ දාගෙන උදේ බස් එකේ ගිහින් හංදියෙන් බැස්සා. මම චූටි දුරකින් බහින නිසා දොරෙන් බහිනවට වඩා ජනේලෙකින් පනින එක හොඳයි කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමා. කොහොම කොහොම හරි තෙරපිලා තෙරපිලා බස් එකෙන් බැහැලා ටික දුරක් ගිහින් ෆෝන් එක ගන්න බැලුවා. දෙයියනේ...... ෆෝන් එක නෑ.
බස් එක ලඟ ඉඳන් ඒ වෙනකොට අඩි දහයක් විතර ඇවිත් තිබුන නිසා ඒ හරියෙ බිම බැලුවා. තිබුනෙ නෑ. බස් එකට නඟිනකොට තිබුනනෙ, ඉතින් ස්ථානෝචිත මොකද්ද එක පාවිච්චි කරලා මම ආපහු නැග්ගා බස් එකට. ඒ වෙනකොට බහින කට්ටිය සේරම බැහැලා, නඟින කට්ටිය සේරම නැඟලා බස් එක යන්න අද්දනවා.
හැමදාම අපේ පාරෙන් යන බස් එක නිසා ඒකේ ඩ්රයිවර් මහත්තයව, කොන්දොස්තර මහත්තයව අඳුනනවා. මම නැඟලා කොන්දොස්තර අංකල් ට කිව්වා. අනේ මගේ ෆෝන් එක බස් එක ඇතුලෙ වැටිලද කොහෙද... පොඩ්ඩක් බලනවද.. කියලා. ඉතින්, කොන්දොස්තර මහත්තයා හැමෝටම කිව්වා..... අපේ ගෙවල් පැත්තෙ අය නිසා බස් එකේ හිටපු ගොඩ දෙනෙක් මමත් අඳුනනවා.
ෆෝන් එක රින්ග් කරලත් බැලුවා. ඒත් ඒක සයිලන්ට් දාලා තිබුනු නිසා වැඩක් උනේ නෑ. කොල් කරන්න ට්රයි කරපු කට්ටිය කිව්වා ෆෝන් එක ඕෆ් කරල කියලා. බස් එකේ හිටපු එක මනුස්සයෙක් කිව්වා මම බැහැපු තැනදි ෆුට් බෝඩ් එකට මොනාහරි වැටෙනවා ඇහුනා. මට පිටිපස්සෙන් බැහැපු වයසක මනුස්සයෙක් ඒක ඇහිඳගත්තා දැක්ක කියල.
මේ වෙනකොට බස් එක සෑහෙන දුරක් ඇවිල්ලා. මම ඊලඟ හෝල්ට් එකෙන් බහැලා අනික් පැත්තට එන බස් එකක ආවා. කෙලින්ම ආවෙ මගෙ ඔෆිස් එකට. එනකොට බොසා හිටියා (අර ගැරඬියා එලවපු එක්කෙනා නෙමෙයි, එයාගෙ අයියා...) මම බොස්ට සිද්ද වෙච්චි දේ කිව්වා. මට ඒ වෙලාවෙ නම් ඇඬෙන්න වගේ... බොස් මට කලබල වෙන්න එපා කියලා, අපේ මැනේජර් වගේ හිටපු වසන්ත අයියා (අයියා කිව්වට අංකල් :) ව මගෙත් එක්ක එව්වා.. ගිහින් බලන්න කියලා.
අපි දෙන්නා ආයෙමත් හංදියට ගිහින් බස් හෝල්ට් එකේ බැලුවා. ලඟ පොඩි කඩේකින් ඇහුවා, "දැං වයසක් මනුස්සයෙක් බස් එකෙන් බැහැලා මෙතනින් ගියා දැක්කද" කියලා. "එතන එහාපැත්තෙ සයිට් එකක් තියෙනවා. එතනට ගිය බාස් කෙනෙක් ද දන්නෙ නෑ බලන්න" කියලා මුදලාලි කිව්වා. ඉතින් අපි එතනටත් ගිහින් බැලුවා. එතන මුරකාරයා කිව්වා 8 න් පස්සෙ කවුරුත් ඇතුලට ආවෙ නෑ කියලා. ඉතින් අපි ඒ අවට ටිකක් බලලා ආපහු ඔෆිස් එකට ආවා... එදා දවස ඉතින් හරිම දුකෙන් ඔෆිස් එකේ ගත කරලා මම හවස ගෙදර ගියා. හවසට යන්නෙත් ඒ බස් එකේම තමයි. ඒත් එදා මල්ලිට එන්න කියලා බයික් එකෙන් ගෙදර ගියා.
හවස ගෙදර ඉන්නකොට අපේ නෑදෑ අයිය කෙනෙක් ඇවිත් කිව්වා අර වයසක මනුස්සයා කවුද කියල හොයාගත්තා කියලා. මට සතුට ඉහිලුම් නැති උනා. එවෙලෙම තාත්තවත් එක්කගෙන අර අයිය එක්ක මම ඒ වයසක මනුස්සයා හොයන්න ගෙදරට ගියා. අපේ ගෙවල් වලින් ටිකක් එහා ඉන්න වයසක මනුස්සයෙක්. ගිහින් ඒ මනුස්සයත් එක්ක කතා කලා.
අපේ තාත්තා: මාමෙ, මාමා අද උදේ බස් එකේ හියා නේද?
වයසක මනුස්සයා : ඔව් ඔව්
අපේ තාත්තා: හංදියෙන් ද බැස්සෙ?
වයසක මනුස්සයා : ඔව්.. ආයුර්වේදෙට ගියානෙ
අපේ තාත්තා: බහිද්දි මොනා හරි වැටිලා තිබිලා ඇහින්දද?
වයසක මනුස්සයා : ආ... ඔව්, ටැලිපෝං එකක් හම්බුනා, එතකොට (මාව පෙන්නලා) මේ දරුව වගේ
දරුවෙක් ඇවිත් ඇහුවා... සීයා පෝං එකක් ඇහින්දා නේද.. ඒක මගේ. මට දෙනවද...
කියලා
අපේ තාත්තා: ඉතින් දුන්නද?
වයසක මනුස්සයා : නෑ. මම කිව්වා මට කීයක් හරි දුන්නොත් දෙනවා කියල. ඊටපස්සෙ මට රුපියල් විස්සක්
දුන්නා. මම ඉතින් දුන්නා.
අපේ තාත්තා: ඒ ළමයව අඳුනනවද?
වයසක මනුස්සයා : මේං මේ දරුව වගේ තමා.
මේ මනුස්සයගෙන් තවත් අහලා වැඩක් නෑ කියලා දනගෙන අපි එහෙන ආවා. ඊලඟ මෙහෙයුම තමයි අර කෙල්ලව හොයන එක.. අයියා කිව්වා... ආ ඔයාට පස්සෙ බැහැපු කෙල්ලව මම දන්නවා කියලා. (දැනගන්න එපැයි, එයාලගෙ වැඩේ ඉතින්බස් එකේ යන කෙල්ලොන්ගෙ රෙජිස්ටරේ මාක් කර්න එකනෙ හැමදාම... ඒක තම මම කිව්වෙ බස් එකේදි කොකම් පපා යන කට්ටිය හොඳට අහගන්න කියලා. ඔයාලටත් මෙහෙම කල්පනාවෙන් හිටියොත් ප්රයෝජනයක් වෙන්න පුලුවන්) ඒත් ඒ වෙලාවෙ රෑ වෙලා නිසා තාත්ත කිව්වා අද බෑ.. හෙට යමු කියලා.
ඔන්න ඊලඟ දවසට එලි උනා තාත්තයි, මමයි, අපේ මලයයි උදේ පාන්දරම කුකුලා අතේ අරගෙන අර කෙල්ලගෙ ගෙදර තියෙනව කියපු තැන හොයාගෙන ගියා. මඟක් දුර යනකොට මෙන්න කෙල්ලෙක් එනවා පනාව දාගෙන ඉස්සරහට. මගේ ලඟට ඇවිත් කිව්වා "අනේ නංගි ඔයා හම්බුනු එක හොඳයි.. මම මේ ඔයාව හොයාගෙන එන්න හිටියෙ, ඔයාගෙ ෆෝන් එක අපේ ගෙදර තියෙනව පටිටො, අම්ම ගෙදර ඇති ඉල්ලගන්න... මම වැඩට යන්න පරක්කු වෙනව.. මම යනව පැටියෝ........." කියලා බටර් තලියක් ගාල ගියා. මම බයේ හිටියෙ බදාගෙන ඉඹියි කියලා. හි හි...
ඉතින් මම හිතුවා හරි හොඳ අක්ක කෙනෙක් වෙන්න ඇති, මගෙන් ෆෝන් එක වැටෙනවා දැකලා ආපහු මට දෙන්න අරගන්න ඇති කියලා.
ඉතින් අපි ඒ කියපු ගෙදරට ගිහින් ෆෝන් එක ඉල්ලගත්තා. හැබැයි, ඒ වෙනකොට ෆෝන් එකේ සිම් එකවත්, කවරෙවත්, ස්ටිකරේවත් කිසිම දෙයක් නෑ. බැටරියයි ෆෝන් එකයි විතරයි. ඉතින් ඒක හරි හම්බුනානෙ කියල හිතලා සතුටු උනා.
ඊට පස්සෙ ඉතින් අයියල මට විහිලු කර කර හිටියා.. "මෙයාට තියෙන්නෙ රුපියල් විස්සෙ ෆෝන් එකක්" කියලා.
ඒත් ඊට පස්සෙ තමා අපි ඇත්ත කථාව දැන ගත්තෙ. ඒ කෙල්ල මට දෙන්න නෙමෙයි ෆෝන් එක අරන් තියෙන්නෙ. ඒකනෙ බැටරියයි ෆෝන් එකයි ඇර වෙන දෙයක් නොතිබුනේ... තාත්තා එදා රෑ යන්න බෑ කිව්වට අයියා රෑ වෙලා තව කොල්ලො සට් එකක් එක්ක ඒ කෙල්ලගෙ ගෙදරට ගිහින්. ගිහිල්ලා ඒ කෙල්ලව බය කරලා ඇවිල්ලා.
ඒ නිසා තමයි කෙල්ල පහුවදා උදේ බබා වගේ ඇවිත් මට බටර් පාර ගාලා හිමීට ෆෝන් එක ආපහු දුන්නේ... හි... හි...
ප.ලි. එදා ෆෝන් එක නැතිවෙලා දුකෙන් ඉන්නකොට අපේ බොසාට දුක හිතිලා, මැනේජර් ට කිව්වලු ෆෝන් එක හම්බුනේ නැත්නම් එකක් අරන් දෙන්න කියලා.... මට ඕක මැනේජර් කිව්වෙ පස්සෙ කාලෙක... හි හි... අපරාදෙ...
ප.ප.ලි: දැන් නම් IMEI අංකයක් කියලා එකක් තියෙනවලු නේද??? *#06# කියල ඕනෙම ෆෝන් එකක ගැහුවාම එනවලු. ෆෝන් එක නැති උනාම ඕක දැනගෙන හිටියොත් ප්රයෝජනවත් වෙනවලු... හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.