
ගියපාර මම ලියපු පෝස්ට් එක ඇත්තම වැස්සක් ගැන නොලිව්වට කට්ටිය ඇත්තම වැස්සක් ගැන ගොඩක් දේවල් ලියල තිබුනා. ඒ අයට ගොඩක් ස්තුතියි. ඒත් අද මම ලියන්නෙ ඇත්තම වැස්ස නිසා අපට වෙලා තියෙන දේවල් ගැන.
මාස එකහමාරක් ගෙදර ඉඳල ගිය සඳුදා ආපහු ආවට ආපු ගමන් දැක්කෙ බෝඩිම නාය ගිහිල්ලා.අප්පොච්චියේ... ආපු මෝඩකම කියලා හිතුනා. මගේ කාමරේ බිත්තියට තව අඩියක් විතර ඉතුරු වෙලා තියෙනවා. මාතෘකාවෙ කිව්වා වගේ දැන් ඒ කාමරේ ඉඳන් තමයි මේ පෝස්ට් එක ලියන්නෙ. හි හි... ඒත් රෑට කාමරේ නිඳාගන්නෙ නෑ. උදේ වෙනකොට පහල තියෙන පාරෙන් මාවයි රූමවයි අහුලගන්න වේවි කියලා. සද්දයක් ඇහුනු ගමන් දුවන්න බලාගෙන රෙඩි පිට තමයි ඉන්නෙ. දඩ බඩ ගාලා පස් වැටෙන ගල් පෙරලෙන සද්දයක් ආවොතින් ලැප් එක ඔලුවට අරන් දුවන්නයි තියෙන්නෙ. බේරගන්න කියලා වටින කියන දේකට තියෙන්නෙ ඒක විතරයිනෙ.
අද වෙනකොට වැස්ස නම් ටිකක් අඩු වෙලා. ඒත් අද උදෙත් ප්රවෘත්ති වලට කිව්ව අපිට චුට්ටක් එහා හරියක් (දෙකේ කණුවෙ) ගෙවල් ගිලා බහින්න පටන්ගෙනලු. ඊයෙ පෙරේදා අපිට එහා ගම ඒ කියන්නෙ බදුලුසිරිගම ගිලා බහිනව කියල මිනිස්සු අයින් කලා. අපි මැද්දට වෙලා ඉන්නව.
ඉගෙනගන්න එක කියන්නෙ ගොඩක් කැප කිරීම් කරල කරන්න ඕනෙ දෙයක් කියලා මම දන්නවා. ඒත් මේ තරම් කැපකිරීම්... මේ කොච්චර නාය ගියත් වැස්සත් අපිට පෙබරවාරි 21 විභාගෙ පටන් ගන්නවා. ඒකෙ වෙනසක් නෑ. ඉතින් නාය නෙමෙයි බිමට සමතලා උනත් අපි පාඩම් කරන්න ඕනෙ. හොඳම දේ තමයි අදට දවස් තුනක් වෙනවා. බෝඩිමට කරන්ට් එක නෑ. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි නිසා දවස් 5 කට විතර ආපහු එන එකක් නැතිවෙයි කියලා කට්ටිය කියනවා.

මෝටර් ගහලා වතුර ගන්න ළමයින්ගේ බෝඩිම් වලට දැන් වතුරත් නෑ. උණු කරගන්න හීටර් ගහන්න බැරි නිසා අපිටත් බොන්න වතුර අඩුයි. ඇල් වතුර බිව්වොත් සෙන්ගමාලය...
බුදු අම්මේ වතුර ලයිට් නැති උනාට ඒ ඔක්කොටම හරියන්න සීතල තියෙනවා. මොඩම් එකට සිග්නල් අල්ලන්න ජනේලෙ ලඟ ඉඳලා මාවත් දැන් ගල් වෙන්න ලඟයි වගේ. (කට කට කට... දත් ටිකත් ගැහෙනවා). රෙදි හෝදන්න බෑ. වේලගන්න බෑ.....

ඔන්න ඔහොම දුක් විඳලා තමයි ළමයි ඉගෙනගන්නේ. හ්ම්ම්.. දැන් නම් දුක් වින්දා ඇති. ගෙදරින් අඬගහනවා ඔතන ඉඳලා මැරෙන්නෙ නැතුව එන්න කියලා. ඉතින් හෙට උදේ පාන්දරම ගෙදර යනවා. ගෙදර ගියෙ නැත්තෙ පාඩම් කරන්න බැරි නිසා. මම ගියාට බෝඩිමේ තව දෙන්නෙක් ඉතුරුයි. කොච්චර කිව්වත් උන් දෙන්නට යන්න බෑලු. අනේ මන්දා ඒත් දැන් මෙහෙ ඉන්නවට වඩා එක්සෑම් රිපීට් වෙන එක සැපයි වගේ. එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු...
--තාරා--