topbella

Saturday, January 14, 2012

අත්තිවාරමක් පරණ වෙන්න කොච්චර කල් තියන්න ඕනෙද???


හා පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න බලන්න ඔය උඩින් අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ...........

ඕකට හරිම උත්තරේ නම් මමත් දන්නෙ නෑ. ඒත් අපේ ක්‍රියේටිව් සතා නම් දන්නව මම හිතන්නෙ.

මෙන්න මේකයි කතාව.

ආ..... කලින් පූර්විකා කොටසකුත් තියෙනවා. සමහර මිනිස්සු ගෙවල් හදන්න ඉතින් ඔය නැකතක් එහෙම බලලා අත්තිවාරමක් (සිංහලෙන් කියනවනම් බවුන්ඩේසමක්) දානවනෙ. ඉතින් ඊට පස්සෙ සල්ලි ඉවර වෙනවා. ආයෙ සල්ලි හම්බෙනකං අර අත්තිවාරම පැල වෙනවා. ගොඩක් තැන් වල මේ දේ සිද්ද වෙනවා. හොඳට සල්ලි තියෙන කෙනෙක් තමයිනෙ එකපාර ගේ හදන්නෙ. අපේ තාත්තලා වගේ රජයේ සේවකයන්ගෙ ගෙවල් ඔහොම්මම තමා.

(පූර්විකාව දිග වැඩි උනාද මන්දා...)

ඔන්න දවසක් අපේ බෝඩිමේ වට මේස සාකච්චාව දාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම දෙබසක් ගියා.

ක්‍රියේටිව් සතා: අනේ මම නම් අයියට (එයාගෙ බොයි ෆ්‍රෙන්ඩ්) කියන්නෙ අපි බැන්දාම හදපු ගෙයක් සල්ලි වලට ගමු කියලා.

සතා 1: ඇයි අනේ ඒ... එතකොට අපරාදෙනෙ. අපිට ඕන විදිහට ලස්සනට ගේ හදාගන්න බෑනෙ. වෙන කෙනෙක්ට ඕන විදිහටනෙ හදලා තියෙන්නෙ.

ක්‍රියේටිව් සතා: ඒ උනත් ගෙවල් හදන්න සෑහෙන කල් යනවනෙ...

සතා 2: නෑ එහෙම නෑ. එකපාර ගෙයක් ගන්න සල්ලි තියෙනව නම් ඉතින් එකපාර සල්ලි වියදම් කරලා ඉක්මනට හදාගන්නත් පුළුවන්නෙ.

ක්‍රියේටිව් සතා:සල්ලි තිබිලා විතරක් බෑනෙ. ඔය අත්තිවාරම එහෙම පරණ වෙන්න තියන්නත් එපැයි සෑහෙන කාලයක්.

සතා1: ඈ............. ඒ මොකටද අත්තිවාරම පරණ වෙන්න තියන්නෙ?

ක්‍රියේටිව් සතා: ඔය ගෙවල් හදනකොට අත්තිවාරම පරණ වෙන්න තියනව නේද...? මම දැකලා තියෙනවා.. අපේ පැත්තේ හදපු ගෙවල් ඔක්කොම එහෙම තමයි. අත්තිවාරම දාලා අවුරුද්දක් විතර පරණ වෙන්න තියල තමයි ගේ හැදුවෙ...

එතනින් එහාට දෙබස ඉවරයි. ක්‍රියේටිව් සතා ඇර ඉතුරු අයට හිනාව නවත්තගන්න පැය ගානක් ගියා....

Wednesday, January 11, 2012

දෙවිඳුට බඹුට වැරදුනු තැන...


සකි ඔබ දුටිමි මහ මඟ ජන ගඟ මත්තේ
මුව නොම බසිනි ඔබ තරඟය ජය ගත්තේ
මුව නොදෙඩුවද ඔබ යහගුණ දැන ගත්තේ
අම්මා අපේ නැත ඔබ පසු කර යත්තේ

දකිනෙමි නිතිපතා පසිඳුර යහපත්තු
එලෙසම දකිමි උන් නිති අත පා ගත්තු
දෙවියනි බඹුනි දෙව් බඹ ලොව යහපත්තු
සකි වෙත නොදුන් මුව ඇයි ලඟ අර සත්තු...

Monday, January 2, 2012

හැමෝටම සුභ නව වසරක් වේවා....

අවුල් තැවුල් දුක් කරදර නොම වේවා...
සිතේ පැතුම් පොඩි මල්ඵල ගැන්වේවා...
ආයු වර්ණ සැප බල නැණ වැඩි වේවා...
පතමි ඔබට සුභ නව වසරක් වේවා...

ඇළුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන හැමෝටම, සියළු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...

*කවියේ නිර්මාපකයා මම නොවෙමි...

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...