topbella

Friday, February 24, 2012

පුංචිබොරැල්ලේ පොලිස් මහත්තයා... - අමතක නොවන චරිතයක්

තාරා අධිශ්ඨානයක් කර ගත්තා.. බ්ලොග් එක පාලු වෙන්න දෙන්නෙ නෑ කියලා. සතියකට එකක් වත් අඩු ගානේ පෝස්ට් දානවා... එහෙමයි කියලා සතාටම මඩ ගගහ ඉන්න පුලුවන් යෑ.... ඉහින් මම අතීතාවර්ජනයක් කරන්න පටන් ගත්තා... ඒ කිව්වේ අර "දුමී බබා කාලේ" වගේ "තාරා බබී කාලේ" එහෙම නෙමෙයි.. ඊට වඩා ටිකක් ලොකු කාලේ...

අපි අව්වේ ගමනක් යන්න කොච්චර අකමැතිද.. විශේෂයෙන්ම කොළඹ. දූවිලි, දුම් කාගෙන, දාඩිය නාගෙන.... ශා.... දැනෙන සනීපෙ. ඒත් කොච්චර අකමැති උනත් රාජකාරිය නිසා එහෙම පාරක් මැදට වෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද... මේ කියන්නෙත් එහෙම කෙනෙක් ගැන.

තාරා 6 වසර වෙනකන් තාත්ත් එක්ක මොටර් සයිකලේ ඉස්කෝලෙ ගියාට මල්ලි 3 වසරෙන් පස්සෙ තාත්තගෙ ඉස්කෝලෙට යන්න පටන් ගත්තට පස්සෙ තාර‍ට බයික් එකේ ලැගේජ් එකේ එල්ලිලා තමයි යන්න උනේ. ඉතින් ඕක කරන්න බැරි නිසා තාත්තා තාරට සීසන් එකක් අරන් දීලා බස් එකේ යන්න පුරුදු කලා. ඊට පස්සෙ තාරා 7 වසරෙ මැද ඉඳන් බස් එකේ තමයි ගමන බිමන... උදේට පාරෙ බස්. හවසට ස්කූල් බස්.

උදේට පාරෙ බස් එකේ ගිහින් පුංචි බොරැල්ලෙන් බැහැලා ඉතුරු ටික කකුල් දෙකට වැඳ වැඳ දුවනවා. හැමදාම පරක්කුනේ. ඔතන හංදියෙදි මහ තඩි පාරක් තියෙනවනෙ පනින්න. තාරගෙ පාර පැනිලි ගැන ඉතින් දන්නවනේ... දන්නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඉතින් මෙතන ඉස්කෝලෙ ලමයින්ට පාර පනින්න වාහන නවත්තලා දෙන්න පොලිස් අංකල් කෙනෙක් හිටියා... තාරට නම් ඉතින් දෙයියෙක් වගේ. එතකොට පනිනවද නැද්ද පනිනවද නැද්ද කියලා හිත හිත ඉන්න ඕනෙ නෑනෙ.

එයා තමයි අද කතාවෙ කතා නායකයා.. (පූර්විකාව දිග වැඩිද මන්දා). ඉතින් ඔය අංකල් අවුරුදු ගානක්ම ඔතන හිටියා. හැමදාම හිනාවෙලා "ගුඩ් මෝනිංග් දුව.." කියනවා.. මමත් "ගුඩ් මෝනිංග් අංකල්" කියලා පාර පැනලා යනවා... දවසට හොඳ පටන්ගැන්මක්... ඉඳලා හිටලා දවසක අංකල් හිටියෙ නැත්නම් හරි දුකයි.. ගුඩ් මෝනිංග් කියන්න කෙනෙකුත් නෑ. පාර පන්නන්න කෙනෙකුත් නෑ. මොකද අනික් දවසට වැඩි වයසක් නැති රාලහාමිලා අපිව පාර පන්නන්නෙ නෑ. එයාලට වාහන වල රෝද ගනිනවා වගේ වැදගත් රාජකාරි තියෙනවනෙ.... ඔන්න ඔහොම කාලය ගෙවිල ගියා.

එක පාරක් සති 2ක් විතර අංකල් පුංචිබොරැල්ලෙ නැතුව හිටියා... ඒ කාලෙ නාරාහේන්පිට බෝම්බයක් පිපිරුවා. අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙ තාත්ත කෙනෙකුත් ඒකට අහු උනා.. ආරංචිය ආවෙ එයත් පොලිසියෙ වැඩ කලේ කියලා. පුංචිබොරැල්ලෙ ඩියුටි කලාලු. මේක ඇහුවාම මට පුදුම විදිහට බය හිතුනා.. අපි මල ගෙදරත් ගියා.. බෝම්බයක් නිසාද කොහෙද මිනිය ටිකක් කලු වෙලා. මූන ඇරෙන්න මුළු ඔලුවම බැන්ඩේජ් කරලා තිබුනෙ. මට පෙනුනෙ එයා අර අංකල් වගේමයි.. මට ඉහිලුම් නැතුව ගිහින් මිනිය ලඟදි හයියෙන් කෑ ගහලා ඇඬුනා... ළමයි හැමෝම ඇහුවා ඇයි මම අඬන්නෙ කියලා... පස්සෙ කට්ටියටම කිව්වා... මම හරි දුකෙන් ඒ දවස් ටිකේ හිටියෙ.

ඒත් එක දවසක් උදේ මම අංකල් ආයෙත්  පුංචිබොරැල්ලෙ ඩියුටි ඇවිත් හිටියා... මට පුදුමම සතුටක්... මිනිය දැක්කම මම රැවටිලා.. යාළුවො සේරම මට හිනා උනා හොඳට ඉන්න මනුස්සයෙක් මැරිලා කියලා ඇඬුවා කියලා. ඒත් මමනෙ දන්නෙ....

ඔන්න ඔහොම තවත් අවුරුදු ගානක් ගෙවිලා ගිහින් මම 12 වසරෙදි අංකල් එක දවසක් මම පාර පනිද්දි කිව්වා "පුතේ මම ලබන සතියෙ පෙන්ශන් යනවා" කියලා... ඉතින් අපි උදේට එතනින් එන යාලුවො ටික සෙට් වෙලා අංකල් ට තෑග්ගකුයි කාඩ් එකකුයි දුන්නා.. ලී වලින් හදපි පුංචි නැවක් තමයි දුන්නෙ... මොකද....

අංකල් මහ ලොකු නැවක් වගේ අපිව හැමදාම වාහන සාගරෙන් එතෙර කරපු නිසා...

නමක් ගමක් දන්නෙ නැති උනත් අදටත් මට අංකල් ව ගොඩක් මතක් වෙනවා... පස්සෙ කාලෙක මගෙ යාලුවට අංකල් ව බස් එකකදි හම්බෙලා කතා කරලා තිබුනා.. දැන් සෙකියුරිටි ෆර්ම් එකක වැඩ කරනවලු. එච්චරයි දන්නෙ.. ඊට පස්සෙ කිසිම ආරංචියක් නෑ.

මේක කියවන කවුරු හරි ඒ අංකල් ව දන්නව නම් කියන්න... අපිට එයාව ගොඩක් මතක් වෙනව කියලා.. එයා පරෙස්සමින් පාර පන්නපු ළමයි අද හොඳට ඉගෙනෙගෙන හොඳ තැන් වල ඉන්නවා කියලා අහන්න එයා හරි සතුටු වේයි.... ඒ පිනම ඇති.... නිරෝගීව අංකල්ට දීර්ඝායුෂ ලබන්න...

ප.ලි. මේක මගේ දිගම පෝස්ට් එක ද කොහෙද... ජයවේවා...

Wednesday, February 22, 2012

හමුදාවේ අලුත්ම නිළය... සහ අලුත්ම මුස්ලිම් නම...

මුලින්ම කියන්න ඕනෙ මේක හමුදාවෙ කාටවත් වත් ඉස්ලාම් සහෝදරයෝ කාටවත් වත් අපහාසයක් කරන අදහසින් ලියපු එකක් නෙමෙයි.



මගේ බ්ලොග් එක කියවන ගොඩක් කට්ටිය දන්නවනෙ ඉතින් කවුද ක්‍රියේටිව් සතා කියන්නෙ කියලා... දන්නෙ නැත්නම් ඔන්න.... ක්‍රියේටිව් සතා කියන්නෙ අපේ බෝඩිමේ ඉන්න සත්තු (සත්ව විජ්ජාව උපාධිය හදාරන) හතර දෙනාගෙන් ක්‍රියේටිව් ම සතා... ව්වැඩිදුර විස්තර ඕනෙ නම් මේ පෝස්ට් එක බලන්න..  ආ තව තියෙනවා... පර්සියන් පූසගෙ කතාව, අත්තිවාරමේ කතාව.මතක් කර කර බඩ පැලෙන්න තරම් රස කතා ගොඩක් මෙයා කියනවා.. එයින් මතක් වෙන ටිකක් තමයි මම මේ ලියන්නෙ...

මේක අපේ ක්‍රියේටිව් සතාගෙ තවත් ක්‍රියේටිව් අදහසක්....

ක්‍රියේටිව් සතා: ඔයා බැලුවද අර 'ගාමණී' ෆිල්ම් එක?
අයියා (boy friend): ආ ඔව් බැලුවා.. ඒක හරි ලස්සනයි... ඒක හදල තියෙන්නෙ හමුදාවෙ අද්මිරාල් කෙනෙක් ද කොහෙද නේද?
සතා: හ්ම්ම්......ආ ඇත්තද?
(විනාඩියකට විතර පස්සෙ)
 ඉතින් මුස්ලිම් අයත් හමුදාවෙ ඉන්නවද?
{මෙයාගෙ ක්‍රියේටිව් මොලේට වැටිලා තියෙන්නෙ අද්මිරාල් කියන්නෙ මුස්ලිම් නමක් කියලා...}

තවත් දවසක...

ක්‍රියේටිව් සතා: මේ... අර ගාමණී ෆිල්ම් එක හරි ලස්සනයි නේ... අයිය කිව්ව ඒක අර හමුදාවෙ ඉන්න අබ්දුල්ලා කෙනෙක් හදලා තියෙන්නෙ කියලා....
චතූ: කවුද බං හමුදාවෙ ඉන්න අබ්දුල්ලා?
සතා: ඇයි බං අර හමුදාවෙ පෝස්ට් එකක් තියෙන්නෙ...

{හිතාගන්න පුලුවන්නේ...}

ප.ලි. මේ සතා නොහිටියා නම් මගේ බ්ලොග් එක කැලේට යනවා නිකංම

Sunday, February 5, 2012

තාරා ගේ ස්වර්ණ ජයන්තිය....

ම්................. ඔන්න කොහොම කොහොම හරි අමාරුවෙන් පෝස්ට් 50 සම්පූර්ණ කරගත්තා.

මේක 50ක් කරගන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගියා. කම්මැලි කම පැත්තක තියලා ලිව්වා නම් හරි. ඒත් මොනව කරන්නද මේකට බෙහෙත් නෑනෙ. හි හි.... අදත් පෝස්ට් එකකට මාතෘකාවක් කල්පනා කරකර ඉන්නකොට තමයි දැක්කේ මේ ලියන්නෙ 50 වෙනි එක කියලා.

මුලින්ම මම ස්තූති කරන්න ඕනෙ කැළණිතිස්ස අයියට. එයා තමයි මටත් අයිඩියා එක දුන්නෙ සිංහල බ්ලොග් එකක් ලියන්න. ඒ වගේම මෙච්චර කාලයක් මගේ බ්ලොග් එක බලන්න ආපු, ෆලෝ කරපු, කමෙන්ට් කරපු හැම දෙනාටම මම ගොඩාක් ස්තුති කරනවා.

මොන මොනවා හරි පිස්සු ටිකක් ලියනවා කියල හිතල පටන් ගත්තට මේ බ්ලොග් එක මට දුකට සතුටට හිටපු යාළුවෙක් වගේ උනා.. කාටවත් කියාගන්න බැරුව හිතේ හිර වෙලා තිබුනු අදහස් ගොඩක් නිදහස් කරන්න මේක මට හොඳ තැනක් උනා.. සතුටු හිතුනු, තරහ ආපු, දුක හිතුනු.... හැම වෙලාවකම ඒ හැම දෙයක්ම ලෝකෙට ඇහෙන්න කෑගහලා කියනව වගේ මට දැනුනා...

එක මුල්ලකට ගුලි වෙලා දවස් ගානක් අඬන්න පුළුවන් තරම් දුක පවා දැනුනු වෙලාවල් වලදි, ඒක ලිව්වාම ගොඩක් සහනයක් ලැබුනා.. ඒවා කියවලා ඔයාලා දීපු අදහස් එක්ක ඒ දුක අමතක කරලා දාන්න පුළුවන් උනා. අවුරුදු 3 කට ආසන්න කාලයක් මගෙත් එක්කම හිටපු යාළුවෙක් කියපු කෙනෙක් මට හීනෙන්වත් හිතන්න බැරි තරම දෙයක් මට කරපු වෙලාවෙදිත්, තාත්තව මතක් වෙන හැම වෙලාවකදිමත් මට කෑ ගහලා කියන්න මගේ බ්ලොග් එක උදවු උනා. හැබයි ගිය අවුරුද්දෙ අන්තිම, ඔපරේශන් එකකින් තාත්තගෙ කකුලෙ මහපට ඇඟිල්ලත් එක්ක කකුලෙ කෑල්ලක් අයින් කරපු වෙලාවෙ ඒ දැනිච්ච වේදනාව නැති කරගන්න නම් බ්ලොග් එකෙන් බැරි උනා. කොහොම ලියන්න උත්සාහ කරත් බැරි උනා. අන්තිමට බ්ලොග් ලිවිල්ලත් එපා උනා. ඒකයි කාලයක් නිශ්ශබ්දව හිටියෙ.

හ්ම්......... මේ පෝස්ට් එකත් සංවේදී වැඩි වේගෙන එනවද මන්දා.

කවි වලින් කියපු දේවල් නම් එච්චර තේරෙන්න නැතුව ඇති.. ගොඩක් අයට මගේ කවි තේරෙන්නෙ නෑ.. ඒක අතකට ඒකත් හොඳයි. මොකද මම ලියන ඒවා පස්සෙ කියවනකොට මටම ලැජ්ජා හිතෙනවා.. "තාරා" කියන්නෙ අඥාත චරිතයක් කියලා හිතුවට දැන් ගොඩ දෙනෙක් මාව අඳුනනවා...


ඔන්න ඔහොම කොහොමින් කොහොම හරි මමත් යාන්තම් පෝස්ට් 50ක් සම්පූර්ණ කරගත්තා. ඉස්සරහටත් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මෙච්චර කල් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝම දිගටම මාත් එක්ක ඉඳියි කියලා හිතනවා...

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...