topbella

Thursday, December 22, 2011

කුමුදුණිය ඔබයි මගේ... (හිතට දැනුනු සිංදුවක් ගැන...)


සඳ මඬල නුඹම විය - ඝණ අඳුරු රැයේ මට
පන්හිඳක රැඳුනු ඔබ - ගීතයක්ම විය.. නොදැනීම

අවදි කරනු මැන ඔබ හඬින් - මා සිතුම් ලොව...

කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ
කුමුදු මල මගේ...
නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ
සඳ එළිය වගේ... සඳවතිය මගේ...

අඳුර මැද සැරූ ඔහේ - ළපටි සිත මගේ
එළිය දුටිමි නතර වී - කැල්ම ඔය නෙතේ
මුළු ලෝකෙම මගේමැයි - මට දැනුනි ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් - ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ... ලැබූ ඔබෙ සෙනේ

කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ
කුමුදු මල මගේ...
නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ
සඳ එළිය වගේ... සඳවතිය මගේ...

ඉතින් කියන්න...

මිහිර බෙදූ මිහිරියේ - සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ලඟින් - සිත නිවී සැලේ
දිවි හැම දිනේ ඉතින් මගේ - නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමී නිතින් - පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ... සොඳුරු විජිතයේ...


මෑත කාලෙ අහපු හිතට වැදුනු ලස්සන සිංදුවක්... ගොඩක් දෙනෙක් මේක අහල ඇති මම හිතන්නෙ. අහලා නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් අහන්න..

කනට ඇහෙනවට ඇහුවට හිතල බැලුවද මේ සිංදුවෙ ඇත්තම තේරුම මොකක්ද කියලා? සමහරුන්ට ලොකු පැටලිල්ලක් වෙන්න ඇති.. තනුව, කටහඬ ලස්සන නිසා ආසා උනත් මටත් මුලදි හරි ප්‍රශ්නයක් උනා මොකද්ද මේ කියන්නෙ කියලා.. සිංදුව බාගෙන නිවි හැනහිල්ලෙ අහනකොට තමයි හරියට තේරෙන්නෙ...

ඔය මම උඩින් දාලා තියෙන පද වල කොළ පාටින් තියෙන කෑල්ල අහපු නැති කෙනෙකුට අනිවාර්යයෙන්ම හිතෙන්නෙ මේක මේ කෙල්ලෙක් තවත් කෙල්ලෙකුට කියපු සිංදුවක් කියලා... මේ ගැන සමහර ෆෝරම් වල සෑහෙන විවාදත් කෙරිලා තිබුනා මම දැක්කා...

දැන් තියෙන ගොඩක් සිංදු වගේ මේකත් උඩින් පහලින් රසවිඳින්න ගියොත් ඒකෙ තෙරුම හරියටම තෙරුම් ගන්න බෑ තමයි...

පුළුවන් නම් ඔයාලත් මේක අහලා බලලා මට කියන්නකො මම කොච්චරක් දුරට නිවැරදිද කියලා...

Sunday, December 18, 2011

මගේ වැඩ...

අපේ lecture එකේ ඉඳගෙන මෙන්න කරන වැඩ... පැන්ඩා නම් නිදි කිරුවා... ඊට එහා පැත්තේ ඉඳන් මම චිත්‍ර ඇන්දා...

Thursday, October 27, 2011

අවසන...


අහසේ අවසන
සයුරේ අවසන
ගොඩබිමේ අවසන හිඳ දකින
අපට නොපෙනී පසුපසින් එන
දිවියේ අවසන...

ඡායාරූපය: අපේ මලයාගෙන්

ප.ලි. මෙච්චර කල් පෝස්ට් එකක් දාන්න බැරි උනාට, තාරා ගේ සිතුවිලි කියවන්න එන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...

Friday, August 12, 2011

ඔබ බලා අවසන් කර නෙත් දෙක දෙන තෙක් තව කෙනෙක් බලා ඉන්නවා.....

මේක මට ආපු ඊ-මේල් එකක්.....
ටිකක් හිතන්න දෙයක්.....
පිංතූරෙ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න...ඔබත් බලා අවසන් වූ කල නෙත් දෙක දෙන්න කැමතිද? එහෙනම් ෆේස්බුක් ඉන්න අය මෙතනින් යන්න...
එහෙම නැත්නම් මේ තොරතුරු උදව්වක් වේවි....



Saturday, August 6, 2011

ඔබට මතකද...


පෙම්වතුන් ලෙස
පැතුම් පොදි බැඳ
පා නැඟූ මේ
පුරුදු මං දිග
සිඟිති දියණිය
ඉපදි පළමුව
තුරුළු කරගෙන
රැගෙන ආ මඟ
දශක නික්මී
ඔබද මා ඇය
පිය නඟන සඳ
යළිත් ඒ මඟ
සිතුවමක් මෙන්
ඇඳුනු මතකය
දුටිමි ඔබ මුව
මඳහසක් ලෙස...


ප.ලි. පිංතූරෙ ඉන්නෙ... තාත්තයි අම්මයි මමයි...

Friday, August 5, 2011

ඇනෙලීඩා නම් පර්සියන් පූසා...


මේක නම් එළව එළවා කෑමක් සෙට් වෙන වැඩක්.. අදින් පස්සෙ මගේ බ්ලොග් එක ලියන එක නැවතුනොත් හිතාගන්න සතා මාව ඌරා කපනවා වගේ කපලා කියලා...

බෝඩිමේ සත්තු 4 දෙනෙක්ම ඉන්නවනේ... ඒ 4දෙනාම කියපුවා තමයි මේ. මම සතා1, සතා2, සතා3, සතා4 කියලා පාවිච්චි කරන්නම්.

මේවා අපේ සතාගේ පණ්ඩිත වාක්‍ය කීපයක්...

-------------------------------------------------------------------------------------------------


සතා1: චතූ..... ලයිබ්‍රියෙ සිංහල පොත් නෑ බං. මොකක්දෝ එකක් තියෙනවා හීනෝන්මාදය කියලා...
(හීනෝන්මාදය = හිතෝපදේශය)

-------------------------------------------------------------------------------------------------


සතා1: මේ... operon කියන්නෙ මොකක්ද?
සතා2: ඒ ජාන පිහිදාලා දාන එකක්ද කොහෙද, duster of gene කියලා තියෙන්නෙ....
(duster of gene = cluster of gene)

-------------------------------------------------------------------------------------------------

පේපර් එකක,
ක්‍රියේටිව් සතා: they behave as ranchu.... (රංචු)

-------------------------------------------------------------------------------------------------


දැන් එන්නම්කෝ පර්සියක් පූසගෙ කතාවට...

ඒක දවසක් අපේ සත්තු 2 නෙක් තමන්ට නියමිත විදිහට උයන්න ලෑස්ති උනාලු.. මේ දෙන්නා මොනවදෝ මන්දා එළවළුවක් සුද්ද කර කර ඉන්නකොට ඒකෙ ඉඳලා පණුවෙක් අහු උනාලු. පස්සෙ ඉතින් පණුවා අයින් කරලා උයලා එහෙම කන්න ලෑස්ති වෙනකොට පනුවව මතක් උනාලු.. දැං කන වෙලාවෙ පණුවො මතක් කරන්න හොඳ නෑනෙ.. ඉතින් ඒක විද්‍යාත්මකව කිව්වා "අද මේවයෙ ඉඳලා අපිට ඇනෙලීඩාවෙක් හම්බුනා කියලා".

අපේ ක්‍රියේටිව් සතාගෙ වැඩේ කන්න ගියත්, පාඩම් කරන්න ගියත් අපිත් එක්ක කතා කර කර හිටියත් එයාගෙ ප්‍රේම කුරුල්ලාට මැසේජ් කොටන එක තමයි. ඕවා කොට කොට ඉඳලා අපි කියන දේවල් බාගෙට අහගෙන ඊටපස්සෙ පිස්සු නටනවා... මේ පාරත් ඒ වගේ වැඩක් තමයි උනේ...

අර ඇනෙලීඩා කතාව කියද්දිත් බාගෙට අහගෙන ඉඳලා එකපාරට අහනවා.. ඒ කවුද බන් ඇනෙලීඩා කියන්නෙ කියලා.. මේකා ඒ ලෙවල් වලට බයෝ කරලා තියෙන්නෙත් මෙහෙ ඉගෙනගන්නවා වගේමද කොහෙද...

අපි: ඒ පර්සියන් පූසො ජාතියක්නේ... ඔයා අහලා නැද්ද?
අර පොඩ්ඩක් රෝස පාට, ටිකක් දිග, අද (මට එළවළුව මතක නෑ.. අපි මෑ කරල් කියලා හිතමු) මෑ කරල් වල ඇනෙලීඩාවෙක් ඉඳලනෙ...

මෙයත් ටිකක් වෙලා උඩ බිම බලලා හා කියලා ආපහු කන්න පටන් ගත්තා. අපිට පුදුමයි. වෙනදට මෙයා කන වෙලාවට කවුරු හරි ඊයා කිව්වත් කෑම නවත්තන එක්කෙනා පණුවෙක් ඉඳලා කිව්වත් හොඳට කනවා... අපි දවස් ගානකට පස්සෙ තමයි දැනගත්තේ ඕක ගැන ආපහු කතා කරනකොට... මේකා එතකන්ම හිතාගෙන ඉඳලා තියෙන්නෙ ඇනෙලීඩා කියන්නෙ ඇත්තටම පර්සියන් පුසෙක් කියලා..

මැසේජ් කොටනකොට මේකගෙ මොලෙන් බාගයයි මේ පැත්තෙ තියෙන්නෙ. අනික් ටික මැසේජ් එකේ.. හි හි හි...

අද සත්තු ටික ෆීල්ඩ් විසිට් එකක් ගිහින් නිසා මම හැංගිලා මේක ලියන්නෙ.. අහු උනාම මම ඉවරයි.... කොක්කෙ එල්ලලා ඉඳියි...

Tuesday, August 2, 2011

ග්‍රීස් යකා...


මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ ඔය ග්‍රීස් යකා ගැන, මේ පැත්තෙත් ඔය භීතිකාව පොඩ්ඩක් තියෙනවා..
අස්ථිකාලගෙ බෝඩිමේ ජනේලෙකින් සුදුපාට අතක් දැම්මලු..
රෑ 11 ට විතර ඇවිත් දොරට තට්ටු කලාලු...
පෙරේදා රෑ කෙල්ලෙක් යටිගිරියන් කෑගහන සද්දයක් අපේ සතෙකුට ඇහුනලු...
අපේ බෝඩිමට පහල පාරෙන් දිග පිහියක් දාලා ගිය මනුස්සයෙක් අල්ලගත්තලු..
ඔන්න ඔය වගේ කතා ගොඩක් ආරංචි උනා...
ඇත්ත නැත්ත කොහොමද නම් දන්නෙ නෑ...

අපිත් චුට්ටක් විතර බයෙන් තමයි ඉන්නේ.. මොකද අපේ දොරේ අගුල ටිකක් අප්සට්නේ, කකුලෙන් එකක් දුන්න ගමන් දොර ඇරෙනවා... බෝඩිමේ ඇන්ටිට කිව්වට හදල දෙන්නෙත් නෑනෙ...

බ්‍රවුන් කියලා බලු තඩියෙක් නම් ඉන්නවා... ඒත් ඌ අපිට විතරයි පාට් දාන්නෙ. හොරුත් එක්ක ඌ යාළුයිද මන්දා... රෑ 9න් පස්සෙ ඌ ලෙහුවාම අපි නම් එලියට බහින්නෙ නෑ...

ඉතින් ඔය ග්‍රීස් යකා ගැන කතා කරන්න ගිහින් කියාපු රසකතාවක් තමයි මේ...

දන්නවනෙ අර ක්‍රියේටිව් උත්තර දෙන අපේ සතා ගැන. එයාට ඉතින් ලොකු ප්‍රශ්නයක්ලු මේ ග්‍රීස් යකා ගැන...

සතා: එතකොට ඔය ග්‍රීස් යකා ග්‍රීස් ගාගෙන එන්නෙ ඇයි?
අපි: එතකොට කාටවත් ඌව අල්ලන්න බෑනෙ.. ලිස්සනවනේ...
සතා: එතකොට ඌ ග්‍රීස් ඇඟේ ගාගන්නේ අත් දෙකෙන් අරගෙන නේ... ඉතින් ඌ අත් දෙකේ ග්‍රීස් ගාගෙන ඇවිල්ලා කෙල්ලෙක්ව අල්ලගත්තාම ඒ කෙල්ලටත් ලිස්සලා යන්න පුළුවන් නේ....

(හා දීපන්කෝ දැන් ඕවට උත්තර... බලන්න කොච්චර දාර්ශනික මොලයක්ද කියලා...)

ප.ලි. සතා තව තව ප්‍රශ්නත් ඇහුවා යකා ගැන... ඒවා මේකෙ ලියන්න ටිකක් අමාරුයි.,..

Sunday, July 31, 2011

තාත්තා...

උදේ පාන්ද‍රම ඉර පායලා ටිකක් වෙලා ගිහිල්ලා ගමේ ඉස්කෝලෙ පටන් ගන්න පැය බාගෙකට විතර කලින් මෙන්න මේ විදිහටම තාත්තගෙ ඇඟිල්ලෙ එල්ලිලා, සුදුපාට ගවුමකුත් ඇඳගෙන ඉස්කෝලෙ යන එක වසරෙ පුංචි කෙල්ලෙක් හිටියා... ඒ කෙල්ලගෙ පුංචි අතට අහු උනේ තාත්තගෙ පුංචිම ඇඟිල්ල විතරයි... පාරෙ ගල් බොරළු වල හැප්පෙන්නැතුව වැටෙන්නැතුව යන්නත් ඕනෙ.. වටේ තියෙන දේවල් බලන්නත් ඕනෙ... ඉස්සරහට හම්බෙන අයත් එක්ක හිනා වෙන්නත් ඕනෙ.. උදේට හම්බෙන කට්ටිය "මෝනින් සර්" කියාගෙන යනවා... කෙල්ලටත් ඉතින් හරි ආඩම්බරයි...

ඊට පස්සෙ ගිහින් පන්තියට දාපු වෙලේ ඉඳන්, ටීචර් උගන්නන්නේ නැති හැම වෙලාවෙම තාත්ත ඉන්න කාමරේට දුවනවා.. පැන්සලේ තුඩ කැඩුනාමත් තාත්තා හොයාගෙන යනවා... ඒ යන හැම වෙලාවකම රුපියලක් මාටියා ගහගෙන එන්න අමතක කරන්නෙත් නෑ... (ඔන්න ඔහොම තමයි කෙල්ල මාටියා ගහන්න පටන් ගත්තෙ. දැනට සාර්ථක විදිහට කැළණිතිස්ස අයියගෙ පර්ස් එකට වැඩේ දෙනවා.. :D).

ඒ පුන්චි කෙල්ලට අපි තාරා කියලා නම තියමු...

ඔන්න එක දවසක් තාත්තා තාරා වයි මල්ලිවයි ලං කරගෙන සිංහබාහු කතාව කියලා දෙනවා.. ඒ දවස් වල සිංහල අච්චු පොතක ඒ කතාව සේරම කවි ටිකත් එක්ක තිබුනා... තාත්තා ලස්සනට කවි ටිකත් කියලා රඟපාලා වගේ කතාව කියනවා... කතාවෙ අන්තිම හරියෙදි සිංහබාහු සිංහයව මරනවනෙ... ඔන්න ඕක කිව්ව විතරයි තාරයි මල්ලි දෙන්නම තාත්තව බදාගෙන අඬනව... ඇයි කියල ඇහුවම "ඒකෙ පුතා තාත්තව මරනවනේ..." කියලා තවත් හයියෙන් අඬනවලු...

අදටත් තාරාට හිතෙනවා ඒ කතාවෙ අවසානය වෙනස් උනා නම් හොඳයි කියලා....

ඒ වගේම තාරාගෙ තාත්තගෙ කතාවත් දැන් තියෙන එකට වඩා හොඳ උනා නම්... ඉස්සර වගේම තාත්තගෙ ඇස් දෙක හොඳින් පෙනුන නම්... ඉස්සර වගේ, ලස්සන චිත්‍ර අඳින්න( ඔය පිටිපස්සෙන් තියෙන මියුරල් එක වගේ ), කැටයම් කපන්න, පොත් කියවන්න.... කොච්චරක් නම් දෙවල්ද... තාත්තගෙ ගෝල බාලයා වෙලා තාරා නොකරපු දෙයක් නෑ... කැරකෙන වෙසක් කූඩු හැදුවා, තොරන් වලට චිත්‍ර ඇන්දා, ලී වැඩ කලා, කැටයම් කැපුවා, මේසන් වැඩ කලා, ඉලෙක්ට්‍රික් වැඩ කලා...

අද තාරා තාත්තට ඇහෙන්න පත්තරේ කියවනකොට, අතින් අල්ලගෙන්න පාරෙ එක්කගෙන යනකොට, තාත්තා ඇඳපු චිත්‍ර දකිනකොට, තාත්තා ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්න්නෙ නෑ කියලා මතක් වෙනකොට, දෙවියො ඇයි මේ තරම් නපුරු උනේ කියලා තාරට හිතිච්චි වාර නම් කොච්චරක්ද...

අද තාරගෙ තාත්තගෙ උපන්දිනේ... තාත්තට අදට වයස 47යි. "මගේ තාත්තට සුභ උපන් දිනයක් වේවා!! ඒ වගේම ඉක්මනට සනීප වෙන්නත් ඕනෙ..."

ප. ලි. :මේ පෝස්ට් එක ලියන්න නම් පටන් ගත්තේ තාත්තා ගැන ගොඩක් දේවල් කියන්න හිතාගෙන... ඒත් එක පිට එක සිතිවිලි රෑන් පිටින් හිතට කඩාවදිනවා... වචන වලින් විස්තර කරන්න බැරි ගොඩාක් දෙවල්... සමහර විට ඡේදයෙන් ඡේදය සම්බන්දයක් නෑ වගේ පේනවා ඇති... සංවිධානය කරලා ගලපලා ලියපු පෝස්ට් එකක් නෙමෙයි.... කවියක් ලියනවා කියලා මුලින් හිතුවට පද 4ක් ගලපගන්නත් ගොඩක් අමාරුයි... ඒ හින්දා රචනාවක්ම ලිව්වා...

Thursday, July 28, 2011

රෝස කුසුම...


සිතා සිටිය මුත් රකිනට හදෙහි තියා
පරවී ගියෙ කිමද සිටියදි දෙනෙත් අයා
ඔබේ කණ්ට පහරින් වූ රිදුම තියා
අමතක වීද මා වැන්නෙක් සිටිය නියා...


ප. ලි. චතුවා බණ්ඩාරවෙලින් ගෙනත්, දවස් ගානක් වතුර එකක දාලා තියාගත්තු රෝස මල අද පරවෙන්න ළං වෙලා නිසා මගේ වියළි මල් එකතුවට ලැබුනා...

Wednesday, July 27, 2011

අසන් මා සිත...


මා කල වරද කිම ඔබ
වීදුරුයෙන් නිමැවීමට
එක් නිමේෂයකින්
බිඳකුදු ඉතිරි නොව
වේදනාව පමණක් ඉතිරිකොට
සුනු විසුනු වන්නට...

Tuesday, July 26, 2011

විශ්ව විද්‍යාල තුල අපි නොදකින බුද්ධි මංකොල්ලයක් තිබේද???


මෑතකදී කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙන් වන (නම සඳහන් නොකරමි) නීතීඥ මහතෙකු විසින් අප වෙනුවෙන් පවත්වන ලද බුද්ධිමය දේපල පිළිබඳ දේශනයකදී දැනගත් කරුණු මත පදනම්ව මෙම ලිපිය ලියමි.. යම්කිසි වරදක් ඇතොත් කරුණාකර කොමෙන්ටු තීරුවේදී මා නිවැරදි කරන මෙන් ඉල්ලමි...

ප්‍රශ්නය නම්: විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් කරන ලද පර්යේෂණ මගින් සොයාගන්නා නිෂ්පාදන වල පේටන්ට් අයිතිය කා සතුද?????

මහාචාර්ය වරයා කියන විදිහට නම් ඒවා අයිති වෙන්නෙ විශ්ව විද්‍යාලයට...

මේකෙන් වාසි අරගෙන පේටන්ට් අයිතිය ලබාගන්නෙ බොහෝවිට ආචාර්ය මණ්ඩලයයි...... මම පෞද්ගලිකව දන්න එහෙම සිද්දි කිහිපයක්ම වෙලා තියෙනවා. මෙතනදි කියන්න ඕනෙ, විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේශණය කියන්නෙ ශිෂ්‍යයෙක්ගෙ මුලු ජීවිතයටම බලපාන දෙයක්. බොහොම කැප කිරීම් කරලා ලබාගන්න දේ වටිනා කම භුක්ති විඳින්නෙ වෙන කෙනෙක් නම් එතන කිසිම සාධාරණයක් තියෙනවද?

මේ නීතියෙදි තියෙන ත‍ර්කය තමයි ළමයා පර්යේෂණය කරන්නේ විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර පහසුකම් සහ ඉන් ලබාගත් දැනුම යටතේ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණය යටතේ නිසා කියන එකයි...

විශ්ව විද්‍යාලයෙන් ලබාගත් දැනුම කියන එකට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් ඉතුරු කොටස් දෙක විවාදකාරියි.. උදාහරණයක් විදිහට විද්‍යාගාර පහසුකම් සැලකුවොත්, පරිඝනක විද්‍යාව කරන ළම‍යෙක් පරිඝනක විද්‍යාගාරය භාවිතා කරලා පර්යේශණය කරන්නෙ බොහොම අඩුවෙන්.. පෞද්ගලික පරිඝනකය භාවිතයෙන්. ඒකට බොහෝ දුරට හේතු වෙන්නෙ විද්‍යාගාර වල සම්පත් අඩුකම. ඊලඟ කාරණය නිරීක්ෂක වරුන්.. සමහර නිරීක්ෂක වරුන් ඉන්නවා ඇත්තටම ළමයින්ට සෑහෙන උදවු කරනවා... ඒත් එහෙම නොකරන කෙනෙක් උනොත්...???

මේ මොන හේතු නිසා මේක සිද්ද උනත් අන්තිමේ මේකෙන් ලැබෙන ප්‍රතිඵලය අවාසි සහගත වෙන්නෙත් රටටමයි.. මොකද මේ හේතුව නිසා ළමයි පෙළඹෙන්නෙ නෑ විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේෂණයට නව නිපැයුමක් කරන්න.. මොකද ඉන් ලැබෙන ඵලය තමාට නොවන නිසා... මගේ කල්පනාව අනුව නම් ලංකාවේ නව නිපැයුම් (innovations) සිදුවන ප්‍රතිශතය අඩු වෙන්නටත් හේතුව මේක වෙන්න ඇති...

ප.ලි. මේ පිළිබඳව දැනුමැති අයගේ අදහස් මා බලාපොරොත්තු වෙමි...

Friday, July 22, 2011

මා ලොව හිරු සඳු...

නිවසට එනතුරා දෑඟිලි ගනිමින්නේ
යන එන මඟ දිගට තොරතුරු විමසන්නේ
මැණිකක් වගේ මා රක්ෂා කරමින්නේ
ඔබ ලබනා සතුට මා හොඳ හැටි දන්නේ

බත් පත අතට ගෙන මාගේ ගැන සොයන
කෑවේ මොනවාද රසගුණ දැයි අසන
කටහඬ වෙනසකින් අසනීපය හැඳින
ඉටු දෙවි රුවින් මා ආරක්ෂා කරන

හිරු සඳු එක නුබෙක පෑයූ ලෙසින්නේ
මාපිය ඔබ මගේ ලොව එලි කරන්නේ
ලඟ නැතියෙන් තනිය පාළුව දැනෙන්නේ
දෙනුවන් පියාගෙන ඔබෙ රුව දකින්නේ

Tuesday, July 12, 2011

ලංකාවේදිම "රාමේන්" කමුද????


"රාමේන්" කියන්නේ ජපන්කැමක්...කොරියාවෙත් කනවා... නූඩ්ල්ස් වලට කියන තවත් නමක් වගේ තමයි...

දන්නවනෙ ඉහ්ටින් පහුගිය දවස් වල අපේ බෝඩිමට korean පිස්සුවක් හැදිලා තිබුනා කියලා.. මේ රාමේන් හදන්න ඉගෙන ගත්තෙත් "prosecutor princess" කතාව බලලා තමයි... එහෙ තියෙන නූඩ්ල්ස් වෙනුවට මෙහෙ කොත්තු මී ගැලපෙනවා...

මේ කියන්නෙ එක්කෙනෙකුට ඇතිවෙන්න වට්ටෝරුව

අවශ්‍ය ද්‍රව්‍ය:
කොත්තු මී නූඩ්ල්ස් - පැකට් 1 (hot and spicy)
වතුර - අඬු කෝප්ප 2
ලීක්ස් - ඇදේට කපපු කඳ කොටස් කීපයක්
බී ළුනු - රවුමට කපපු කොටස් කීපයක්
බිත්තරයක්
ලුනු ස්වල්පයක්


සාදන ක්‍රමය:

ඉස්සෙල්ලාම වතුර භාජනයකට දාලා ලිපෙන් තියලා ඒක නටනකොට කොත්තු මී එකේ තියෙන කුඩු පැකට් එක කඩලා දාන්න. ඊට පස්සෙ නූඩ්ල්ස් ටික දාන්න. නූඩ්ල්ස් බාගෙට තැම්බීගෙන එනකොට ලීක්ස් සහ ළුනු දාලා භාජනය පියනකින් වහලා තියන්න. විනාඩියක් විතර යනකොට භාජනය ඇරලා බලන්න. නූඩ්ල්ස් සහ ලීක්ස් දෙකම් තැම්බිලා නම් කොත්තු මී එකේ තෙල් පැකට් එක දාන්න. ඊට පස්සෙ බිත්තරෙත් කඩලා ඊට උඩින් දාලා බිත්තරේට ලුනු ටිකක් දාන්න.
දැන් වතුර ගතිය හිඳිලා ගියාට පස්සෙ ලිපෙන් බාගන්න.....

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................

සැ.යු. වතුර වැඩි කරගන්න එපා... හිඳෙනකන් බාන්නත් එපා...(රාමේන් කන්නෙ වතුර ගතිය තියෙන්න උනාට කොත්තුමී එහෙම හැදුවාම දිය රහයි).. බිත්තරේ දැම්මට පස්සෙ හැඳිගාන්නත් එපා....

හදලා බලලා රහ කියන්නකෝ.....

Saturday, July 9, 2011

තාරා (the ගෙඹි මරුවා...)


ඊඊඊඊයා.......................... මුලින්ම ඊයා කිව්වාම ආයෙ කියන්න ඕනෙ නෑනෙ...

ඔන්න කලින්ම කිව්වා... කෑම කන ගමන් එහෙම මේක කියවන්න එපා... හීරිකිත වැඩි වෙලා වමනෙ යනවා වගේ නම් මේක කියවන්න එපා...

මතක් වෙනකොටත් මට නිකන් වමනෙට එනව වගේ...

මේක ඇවිල්ලා සිය අතින්ම මඩ නාගන්නවා වගේ වැඩක්.. ඒ නිසා මේක මගේ වචන වලින් නැතුව අපි චතුවගෙ වචන වලින් අහමු.

"
ඔන්න එක දවසක් සෝමක්කගෙ කැම් එකෙන් කට්ටිය පොටෝ ගහන්න ගත්තා. ටුක්කා තමයි කැමරාමන් (වැරදුනා වුමන්) (ටුක්කා මූනෙ මොකක්ද රෑට ගාන තෙලක් ගාල හිටපු නිසා ඌ පොටෝ වල නෑ. ඒ නිසා නිතරඟයෙන් කැමරාවුමන් උනා).
ඉතින් ඔන්න පොටෝ අරන් ඉවර වෙලා සෝමක්කා ලැප් එක එහෙම ඔන් කරලා තියෙද්දි පොටෝ ටික බලන්න කට්ටිය සෙට් උනා. කට්ටියම මෙලෝ සිහියක් නැතුව කිචි බිචි ගගා පොටෝ ටික බැලුවා. ඔන්න ඔහොම බල බල ඉන්නකොට බට්ටිගෙ ටිකිරි මොලේට අදහසක් ආව ඔය ටික දාලා වීඩියෝ එකක් හදමූ කියලා. ඔන්න එතකොට තමයි තාරා කතාවට එන්ටර් වෙන්නෙ.

තාරා ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා වැඩකරු වගේ ගියා එයාගෙ ලැප් එක ගේන්න. ඔන්න ඉතින් තාරා ලැප් එක අරන් ඇවිත් මේසෙ උඩින් තියලා මෙන්න මෙහෙම කියනවා... "බලන්න කවුද මන්දා බූරුවෙක් මන් හිටපු පුටුවෙ * දාලනෙ, මගෙ ඇඳුමෙත් එක්ක!!!!!!!!" ඔන්න දැන් කට්ටියම එකපාරටම පුටුව දිහා බැලුවා.....

මල කෙලියයි.......................................


තඩි ගෙම්බෙක්... දෙවියනේ අර බට්ටිගෙ ගෙඹි පරපුරෙන් පැවතගෙන එන මහ දඩාර ගෙඹි රාජයෙක්... තාරගෙ සද්දන්ත පස්සට යටවෙලා අවසන් ගමන් ගිහින්... එදා තමයි අපි දැක්කේ ඇත්තටම කොහොමද ගෙම්බෙක් ස්ටිකර් වෙන්නෙ කියලා..


ඒක නෙමෙයි හොඳම වැඩේ, ටුක්කා ඇඳ උඩට වෙලා හිනාවෙනවා.... සෝමක්කයි පේමක්කයි පේමක්කගෙ ඇඳ උඩ. උන් දෙන්නා අත් දෙක අල්ලනවා, අතාරිනවා, හිනාවෙනවා(හරියට පිස්සු තදවෙච්චි පිස්සො දෙන්නෙක් වගේ).. මම හිටපු පුටුව උඩම නැගලා බඩ අල්ලගෙන හිනාවෙනවා.. බට්ටියා වෙච්ච දේ හිතාගන්න බැරුව ඔලුවට අත් දෙක ගහගෙන බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා... මොකද ඌ නෙ ගෙඹි පරපුරේ හිමිකාරයා.

අනේ අසරණ තාරා ඌට කිසිම හව් හරණක් නෑ.. තනියම අඬනවා... විනාඩි 10 ක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට තාරව මතක් උනේ. ඔන්න ඉතින් එතකොට කට්ටියම ඇවිත් තාරව වට කරගත්තා.. බට්ටියා ගෙම්බගෙ මෘත ශරීරය එක්ක පුටුවත් එලියට විසිකලා. තාරා දුවලා ගියා ආපහු දෙවනි පාරටත් නාගන්න...
ඔන්න ඔහොමයි අපේ තාරා ගෙඹි මරුවෙක් බවට පත් උනේ..........

අනේ පව්......(ගෙම්බද???? ගෙඹි මරුවද???? ඔයාලම හිතාගන්න...)"

Thursday, July 7, 2011

ඉරිසියාව.....................


උඹ...........
උඹ මට වඩා ගොඩක් ලස්සන උනු නිසා වත්...
මට වඩා උඹ හොඳට පාඩම් කරපු නිසා වත්...
මට වඩා උඹේ අකුරු ලස්සන නිසා වත්...
මට වඩා උඹ පිලිවෙලට වැඩ කරපු නිසා වත්...
මම...............
උඹ ගෙදර ඉද්දි මම කැම්පස් ගිය නිසා වත්...
උඹට වඩා හොඳින් මම පාස් උන නිසා වත්...
උඹට කලින් මම ආදරේ කරපු නිසා වත්...
මම කොළඹ වෙලා උඹ නුවර-එළියෙ උනු නිසා වත්...
අපි................
මාරු කරගෙන ගනන් හදාගෙන පන්ති ගිය අපි...
ජෑම් ගාපු බනිස් එකහමාර බෙදාගෙන කාපු අපි...
කාබන් කොල තියල නෝට් ලියපු අපි...
සෙරෙප්පු කැඩෙනකම් ෂොපින් ගිය අපි...
උඹ මට වත්............... මම උඹට වත්......................
කවදාවත් ඉරිසියා කරේ නෑ..............
අද....................................................................
උඹ නැති පාළුව මට ගොඩක් දැනෙනවා...

Monday, May 30, 2011

බෝඩිමට ආ අමුත්තා...


මේ තමයි අද හවස අපේ බෝඩිමට ආව අමුත්තා. අපේ කාමරේ ජනේලෙන් තමයි ඇවිත් තියෙන්නෙ. මෙයා එනකොට නම් මම කාමරේ හිටියෙ නෑ. රූමා කෑ ගහන සද්දෙ ඇහිලා ගිහින් බලනකොට තමයි මෙයාව දැක්කෙ. මෙයා ඉගිලෙනකොට හිතෙන්නෙ වවුල් පැටියෙක් කියලා. ඒ තරමට ලොකුයි. බිත්තියක වැහුවාමයි සලබයෙක් කියලා අඳුරගත්තෙ.

මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි මෙයා ඉන්න පරිසරයට උපරිම විදිහට අනුවර්තනය වෙලා ඉන්නෙ. පේනවා ඇතිනේ මෙයාගෙ පිහාටු වල උඩ කොටස වේලුනු කොල 2ක් වගේ. යට කොටස මල් පෙති දෙකක් වගේ. මම නම් මෙහෙම එකෙක් මේ දැක්කමයි.

මෙයාගෙ සයිස් එක හිතාගන්න පුලුවන් නේද? මේ මෙයා වහලා ඉන්නෙ මගේ ලැප් බෑග් එකේ. අනේ අම්මපා මූ ටත් වහන්න වෙන තැනක් තිබුනෙම නැති හැටි.

රූමා ඉස්සෙල්ලම කෑ ගැහුවෙ තඩි සමනලයෙක් ඇවිත් කියලා. වැහුවාම තමයි පෙනුනේ ඌ සලබයෙක් කියලා... හා දැන් කට්ටිය දන්නව නම් කියන්න බලන්න සමනලයයි සලබයයි වෙන් කරල අඳුන ගන්නෙ කොහොමද කියලා....????????

Friday, May 27, 2011

විභාග ප්‍රශ්න වලට creative උත්තර...

අපේ බෝඩිමේ ඉන්නවනේ සත්තු 4 දෙනෙක්. ඒ කිව්වේ සත්ව විද්‍යාව කරන 4 දෙනෙක්. ඒ එක්කෙනෙකුගේ නිර්මාණාත්මක අදහස් තමයි මේවා(නම හෙලි කිරීම මට මාරාන්තික වෙන්න පුලුවන් ) . ප්‍රශ්නෙට තියෙන්නෙ මෙයාට මෙච්චර නිර්මණාත්මක කුසලතා තියෙන්නෙ උත්තර ලියනකොට විතරක් වීමයි..

උත්තරයි ප්‍රශ්නයි ටික මට කට්ටිය කියපු විදිහට සිංහලෙන්ම ලියන්නම්...

01. කිඹුල් පාලනය (crocadile farming ) කිරීමට වාසි සහගත වන කරුණු ලියන්න.

-කිඹුලන්ට කිරි වලින් පෝෂණය වන අවධියක් (lactation period) නෑ. ඒ නිසා ඒ කාලය වෙනුවෙන් සේවකයො යොදවන්න ඕනෙ නෑ.
(මේ paper එක බලලා ඇවිත් එයාලගෙ සර් කිව්වලු " ඇයි කිඹුලන්ව ඉස්කෝලෙ යවන්න ඕනෙත් නෑනෙ. එතකොටත් ශ්‍රමය ඉතුරුයිනේ" කියලා )

02. integrated farming (හරිම සිංහල නම නම් දන්නෙ නෑ) කරනකොට, පොල් ත්‍රිකෝණයේ ගව පාලනය කිරිමේදී ඇතිවන ගැටළු ලියන්න.

-පොල් වතු වල අන්නාසි වගා කරනවා. අන්නාසි පඳුරු අස්සේ සර්පයෝ ඉන්නවා, එතකොට සර්පයෝ ගවයන්ට දෂ්ට කරලා ගවයෝ මැරෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.

-පොල් වතු වල පොල් ගස් යටින් ගවයෝ යනකොට වේලිච්ච පොල් ගෙඩි ගවයන්ගේ පිට උඩට වැටිලා කොඳු කැඩෙනවා. එතකොට ගවයන්ට හානි වෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.

(
ප. ලි. මේ පෝස්ට් එක බැරිවෙලා හරි බෝඩිමේ කවුරු හරි දැක්කොත් බෝඩිමේ යුධ රහස් පිටතට දීමේ වරදට මාව බෝඩිමෙන් නෙරපනවා.. එහෙමයි කියලා මේවා නොකියා ඉන්නත් පුලුවන්ද... හි හි...")

Thursday, May 19, 2011

සොයුර ඔබට නිවන් සුව ලැබේවා....


දිලුම් සොහොයුරාණනි, ඔබට නිවන් සුව අත් වේවා.......

Monday, April 18, 2011

සිහිනය...


වැලි අහුරු මදි වෙයිද මාලිගා අමුනන්න
ක්ෂිතිජයත් මදිවෙයිද ඉගිල ගොස් තනිවෙන්න
බිඳෙන රළ මදි වෙයිද සිනා හඬ පරයන්න
සිහිනයක් මදිවෙයිද සැබෑවනු දැකගන්න

Thursday, April 14, 2011

කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා......


නෙත් පුරා සතුට පිරි
මුව පුරා සිනා පිරි
හද පුරා සෙනේ පිරි
සතුට සාමය සපිරි
සියළු පැතුමන් එලෙසින්ම ඉටුවන
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...







(ප.ලි. කවියේ නිර්මාපකයා මම නොවෙමි...)

Sunday, April 3, 2011

හිඟමන...

පස්සෙන් වැටේවි...
අයදීවි
ඉල්ලාවි හඬා වැටේවි...
අහරක් ලැබුනු විගස
කිසිත් අමතක වේවි...
ගිල දමාවි
සැනසේවි...
නැවතත් හිනැහේවි
සතුටු වේවි

යලි කුසගින්න දැනුනු විගස
අහරක් නොලැබෙන බව දැනුනු විගස
නැවතත් හඬාවි
පසුපසම වැටේවි
අයැදීවි...

මියෙන තුරාවටම
ඔබ පසුපසින් අයැදීවි

ඔබ...

ගෙනගොස් පෝෂණය කරාවි..
නැතහොත්
වෙන මඟක ගමන් කරාවි
ඔබ එනතුරු බලා හිඳීවි
සදාකල්ම
අහරක් නොලැබුනු දිනෙක
මලවුන් අතර තනි වේවි...

ඔබට පව් නැත..
එක් දිනක් අහරක් දුන්නත්
ජීවිතයම පෝෂණය කරන්නට..
ඔබ බැඳී නැති බව දනිමි..........

Sunday, March 27, 2011

ඉන්දියාවට ඉහලින් නැගී සිටින දකුණු කොරියානු ටෙලිනාට්‍ය...

අද කියන්න යන්නෙ සමහර කොල්ලන්ට වහ කදුරු මෙන් වන ද, කෙල්ලන්ට sooooooo sweeeeeeet වන ද, මාත් ආසාවෙන්ම බලපු ටෙලිනාට්‍ය ටිකක් ගැන.

පහුගිය කාලෙ කට්ටිය ප්‍රවීණා, මහගෙදර, චිත්ති වගේ ඒවට පලු යන්න බැන බැන හිටියනෙ, ඔන්න දැන් බනින්න අලුත් මාතෘකාවක් ඇවිත්.... ඒක තමයි මේ korean dramas... පහල තියෙන ලින්ක් වලින් ගන්න පුළුවන්...

full house
Boys before flowers
Playful kiss
Mary stayed out all night
princess hours
love to kill

මේ තියෙන්නෙ පහුගිය දවස් වල අපි බලපු නාට්‍ය කීපයක්. ඔන්න ඉතින් බනිනව නම් ඉස්සෙල්ලාම බනින්න වෙන්නෙ ITN එකට තමයි. මොකද ඒකෙන් නෙ ඉස්සෙල්ලාම full house පෙන්නලා කට්ටිය දිරිමත් කෙරෙව්වේ...


ඉන්දියානු නාට්‍ය කලාව කොරියාවෙන් ආක්‍රමණය කලා වගේම මං නම් හිතන්නෙ ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් ලා අල්ලගෙන හිටපු කෙල්ලොන්ගෙ හිත් දැන් Kim Hyun Joong , Lee Min Ho වගේ කට්ටිය අලගෙන...

මෙන්න බලන්න,

Shah Rukh Khan Vs Kim Hyun Joong
Hrithik Roshan Vs Lee Min Ho
Praveenaa Vs Koo Hye Sun
Kim Joon
Kim Bum
Kim Jae Wook

Sunday, March 20, 2011

ඇල්මෙන් අකුරු උගනිව්... (new version)...

මේ කවිය අහල තියෙනවනේ.....

අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරළි ඇඳ දැළි කුනෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

මේ තියෙන්නෙ new version එක.....

රුපියල් හතලිහට කැන්ටිමෙ පණුවො කකා
බෝඩිං ඇන්ටිලගෙ රැස්පොට් ගැන නොතකා
පාඩම් නොදත් නිරුවත ජෙන්ටකින් වසා
ඇල්මෙන් අකුරු උගනිව් C එකක් තකා...

Friday, February 11, 2011

නාය යන කඳු ගැටයක් උඩ සිට ලියමි...


ගියපාර මම ලියපු පෝස්ට් එක ඇත්තම වැස්සක් ගැන නොලිව්වට කට්ටිය ඇත්තම වැස්සක් ගැන ගොඩක් දේවල් ලියල තිබුනා. ඒ අයට ගොඩක් ස්තුතියි. ඒත් අද මම ලියන්නෙ ඇත්තම වැස්ස නිසා අපට වෙලා තියෙන දේවල් ගැන.

මාස එකහමාරක් ගෙදර ඉඳල ගිය සඳුදා ආපහු ආවට ආපු ගමන් දැක්කෙ බෝඩිම නාය ගිහිල්ලා.අප්පොච්චියේ... ආපු මෝඩකම කියලා හිතුනා. මගේ කාමරේ බිත්තියට තව අඩියක් විතර ඉතුරු වෙලා තියෙනවා. මාතෘකාවෙ කිව්වා වගේ දැන් ඒ කාමරේ ඉඳන් තමයි මේ පෝස්ට් එක ලියන්නෙ. හි හි... ඒත් රෑට කාමරේ නිඳාගන්නෙ නෑ. උදේ වෙනකොට පහල තියෙන පාරෙන් මාවයි රූමවයි අහුලගන්න වේවි කියලා. සද්දයක් ඇහුනු ගමන් දුවන්න බලාගෙන රෙඩි පිට තමයි ඉන්නෙ. දඩ බඩ ගාලා පස් වැටෙන ගල් පෙරලෙන සද්දයක් ආවොතින් ලැප් එක ඔලුවට අරන් දුවන්නයි තියෙන්නෙ. බේරගන්න කියලා වටින කියන දේකට තියෙන්නෙ ඒක විතරයිනෙ.

අද වෙනකොට වැස්ස නම් ටිකක් අඩු වෙලා. ඒත් අද උදෙත් ප්‍රවෘත්ති වලට කිව්ව අපිට චුට්ටක් එහා හරියක් (දෙකේ කණුවෙ) ගෙවල් ගිලා බහින්න පටන්ගෙනලු. ඊයෙ පෙරේදා අපිට එහා ගම ඒ කියන්නෙ බදුලුසිරිගම ගිලා බහිනව කියල මිනිස්සු අයින් කලා. අපි මැද්දට වෙලා ඉන්නව.

ඉගෙනගන්න එක කියන්නෙ ගොඩක් කැප කිරීම් කරල කරන්න ඕනෙ දෙයක් කියලා මම දන්නවා. ඒත් මේ තරම් කැපකිරීම්... මේ කොච්චර නාය ගියත් වැස්සත් අපිට පෙබරවාරි 21 විභාගෙ පටන් ගන්නවා. ඒකෙ වෙනසක් නෑ. ඉතින් නාය නෙමෙයි බිමට සමතලා උනත් අපි පාඩම් කරන්න ඕනෙ. හොඳම දේ තමයි අදට දවස් තුනක් වෙනවා. බෝඩිමට කරන්ට් එක නෑ. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි නිසා දවස් 5 කට විතර ආපහු එන එකක් නැතිවෙයි කියලා කට්ටිය කියනවා. 2011 වර්ෂයෙ වෙලත් අද පාඩම් කරන්නෙ පහන් එලියෙන්. මේ පෝස්ට් එක ලියන්නෙත් පහනක් පත්තු කරගෙන. හිනාවෙන්න එපා. ලැප් එක චාර්ජ් කරාගෙන ආවෙ දවල් කැන්ටිමට ගිහිල්ලා. කැම්පස් එකේ ලයින් එකට කරන්ට් තියෙනවා,. මේ දවස් වල බ්ලොග් පැත්තෙ ගැවසෙන්නත් බැරිඋනා ලැප් එකේ චාර්ජ් නැති නිසා..


මෝටර් ගහලා වතුර ගන්න ළමයින්ගේ බෝඩිම් වලට දැන් වතුරත් නෑ. උණු කරගන්න හීටර් ගහන්න බැරි නිසා අපිටත් බොන්න වතුර අඩුයි. ඇල් වතුර බිව්වොත් සෙන්ගමාලය...

බුදු අම්මේ වතුර ලයිට් නැති උනාට ඒ ඔක්කොටම හරියන්න සීතල තියෙනවා. මොඩම් එකට සිග්නල් අල්ලන්න ජනේලෙ ලඟ ඉඳලා මාවත් දැන් ගල් වෙන්න ලඟයි වගේ. (කට කට කට... දත් ටිකත් ගැහෙනවා). රෙදි හෝදන්න බෑ. වේලගන්න බෑ.....

ඔන්න ඔහොම දුක් විඳලා තමයි ළමයි ඉගෙනගන්නේ. හ්ම්ම්.. දැන් නම් දුක් වින්දා ඇති. ගෙදරින් අඬගහනවා ඔතන ඉඳලා මැරෙන්නෙ නැතුව එන්න කියලා. ඉතින් හෙට උදේ පාන්දරම ගෙදර යනවා. ගෙදර ගියෙ නැත්තෙ පාඩම් කරන්න බැරි නිසා. මම ගියාට බෝඩිමේ තව දෙන්නෙක් ඉතුරුයි. කොච්චර කිව්වත් උන් දෙන්නට යන්න බෑලු. අනේ මන්දා ඒත් දැන් මෙහෙ ඉන්නවට වඩා එක්සෑම් රිපීට් වෙන එක සැපයි වගේ. එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු...

--තාරා--

Monday, February 7, 2011

ඇයිද මා නොදනිමි...


බොහෝ කල් සිට පතා ආවෙමි
නිල් අහස කල එළි දකින්නට
දකිනු රිසියෙන් අහස බැලු කල
අඳුරු වූයේ ඇයිද නොදනිමි
වසා ගෙන ඇත අඳුරු මේ කුළු
පතනයක වැසි පෙර නිමිති ගෙන
මොහොතකින් වැහි බිඳු වැටෙද්දී
එබිඳු අතරින් ඔබට නොපෙනිම
දියවු සිහිනෙක මතක කැටි කොට
ගලා යන ඇත බොඳවු කඳුලැල්....

Thursday, February 3, 2011

දෑඟිලි ගනිමි කවදද ගෙදරට එන්නේ ...


පැලේ පහන අද මට අඳුරුව පෙනුනා
දවසට දෙකට ඔබ නැති තනිකම දැනුනා
පිරිත් හඬ නැතිව නොනිඳන බව දැනුනා
මගේ තාත්තේ රෑ මට ඉකි බිඳුනා

රෝහල් සයනයේ ඔබ තනිවම ඉන්නේ
පාළුව දැනෙනවද කවුරුද තෙපලන්නේ
ඔබ ඔහි සිටියමුත් සිත මෙහි බව දන්නේ
දෑඟිලි ගනිමි කවදද ගෙදරට එන්නේ

සල්කර්මයෙන් ඔබෙ නෙත් දෙක සුව වෙවා
අඳුරු වූ ලොවම නැවතත් එලි වෙවා
අපගේ සෙවනැල්ල මෙන් ඉනු හැකි වේවා
මාගේ පියාණනි ඔබ මතු බුදු වේවා...


Tuesday, February 1, 2011

මාර්ග නීති පිලිපදින්නට ගොස් චාටර් වීම...




පදික මාරු සංඥා වල රතු එලිය වැටිලා තියෙනකොට මොකද කරන්නේ?????
පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කියල හිත හිත ඉන්නවා...



ඒක තමයි මට නම් දෙන්න තියෙන උත්තරේ... :-(

අද තාරා තනියම කොළඹ ඇස් වාට්ටුවට ගියා... හපෝයි... දැන් වාහනයක් පැදගෙන යනවට වඩා මාර්ග නීති අනුගමනය කරන්න තියෙනව පදිකයන්ට... එපා වෙන්නෙම පාර මාරු වෙන තැන් වල තියෙන කලර් ලයිට්. ඉස්කෝලෙ යන කාලෙ දැකපු ඇක්සිඩන්ට් එකක් නිසා තාරා අදත් පාර පනිනකොට ටිකක් බයයි. කරුමෙට හරි පාර පනින තැනට ආවම රතු ලයිට් එක නම් තියෙන්නෙ, අනාථයි. පාරෙ යන එන වාහනත් අඩු නම් ඊටත් වඩා අනාථයි. ගොඩක් වාහන යනව නම් එච්චර අව්ලක් නෑ. කොල පාට වැටෙනකන් බලාගෙන ඉන්නවා. ඒත් වාහන අඩුයි නම් අනික් මිනිස්සු පනිනවනෙ. එතකොට මම පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කිය කිය කල්පනා කර කර ඉන්නව. එතකොට නිකම්ම කොල පාට වැටෙනවා. ඒ වෙනකන් අනික් මිනිස්සු පනිනවා. මං බලාගෙන ඉද්දි ආච්චිලත් පනිනවා. දුකේ බෑ.

ඔයාලත් දැක්කොත් කහ ඉරක් ගාව ගැහි ගැහි ඉන්න බයගුල්ලෙක්, එ සමහර විට මම වෙන්නැති...

අද නම් මහ ජරාම දවසක්. වෙච්චි ඊලඟ චාටර් වැඩේ උනෙත් මාර්ග නීති පිලිපදින්න ගිහින් තමයි. හොස්පිට්ල් එකේ ඉඳන් ආපහු එද්දි 138 බස් එකට නගින්න united motors එක ගාව තියෙන ලොකු ගහ යටට ගියා. අනේ එතන බස් නවත්තන්නෙ ට්‍රැෆික් එකේ. ඒකත් අයිනෙ මන්තීරුවෙ නෙමෙයි, මැද. ඉතින් තාරා කොහොමද බස් එකට නගින්නෙ??? මට මතක් උනා ඊට කලින් තාත්තත් එක්ක ආපු දවසක දැක්කා එතන නිල බස් හෝල්ට් එක තියෙන්නෙ තව මීටර් 50ක් විතර ඈතින් කියලා.. ඉතින් ඇවිද්ද පය දහස් වටී කියලා එතනට ඇවිදගෙන ගියා...

එතනට ගියාම මට අඬන්න හිතුනා. "මෙම ස්ථානයේ තිබූ බස් නැවතුම්පොල ඉවත් කරන ලදි" මට පුදුම කරුණාවක් දැනුනා...



ආපහු පස්සට යන්නත් දැන් නිකන් ලැජ්ජයි වගේ.. චාටර් කෝටියයි..... ආයෙමත් ඇවිද්ද පය දහස් වටී කියලා, හිතට ​​​ධෛර්යය අරන් කීයට හරි බස් හෝල්ට් එකක් හම්බෙනකන් ඉස්සරහට ගියා.

යනවා යනවා ඉවරයක් නෑ. අන්තිමට වොක්ෂෝල් වීදියත් පහු කරලා පිලිප් ගුණවර්ධන ග්‍රවුන්ඩ් එක ලඟ බස් හෝල්ට් එකක් වගේ එකක් තිබුනා. එතනත් කලර් ලයිට් වලම නවත්තලා තිබුනු බස් එකකට ඕන දෙයක් වෙච්චාවෙ කියලා ගිහින් නැග්ගා. සීට් එකක වාඩි උනාම කකුල් 2ට නිවන් ගියා වගේ. ඒ බස් එකත් ආපහු මන් අර කලින් හිටපු කලර් ලයිට් ගාවම ඇවිත් නැවැත්තුවා. මැද් මන්තීරුවෙ. මිනිස්සු රොත්තක් ගානක්වත් නැතුව දුවලා ඇවිත් නැග්ගා. අනේ මම විතරයි මෝඩයා...

Sunday, January 30, 2011

ටිකක් හිතන්න දෙයක්...



අහලා තියෙනවද මේ සින්දුව???
අහලා නැත්නම් මෙතනින් ගිහින් අහන්න...

මිරිවැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් දෙක නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුනු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳකිඳුරන් ඇත සඳළුතලාවේ
රස මසවුළු වල සුවඳ විඳී
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ...
-නන්දා මාලනී



ගොඩ දෙනෙක් මේක අහලා නෑ...මමත එක පාරකට වඩා නම් මෙක රේඩියෝ එකෙන් අහලා නෑ....මේ වචන කීපය ඇතුලේ කොච්චරක් දේවල් හිතන්න තියෙනවද...
අපිට කොච්චරක් නම් දේවල් ලැබිලා තියෙනවද...

8 වසරෙදි විතර මටත් පුදුම ආසාවක් තිබුනා fashion එකට specs 2ක් දාන්න. ඒත් තාත්තගෙ ඇස් නොපෙනී ගියාමයි මට තෙරුනේ මගේ මේ තියෙන ඇස් දෙක කොච්චර වටිනවද කියලා... මේ සින්දුවෙ තියෙනව වගේ ලස්සන සෙරෙප්පු නැති උනාට මට කකුල් දෙකක් තියෙන එකට මම සතුටු වෙන්න ඕනෙ. ලොකුම ලොකු රත්තරන් , දියමන්ති අල්ලපු කරාඹු නැතුවට මට හොඳින් ඇහෙන කන් දෙකක් තියෙන එකට මම සතුටු වෙන්න ඕනෙ..

අපිට කරන්න පුලුවන් එකම දේ එහෙම අයට උදව් කරන එකයි... ඉලංදාරියා මල්ලිට උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් වෙයි.... හැමෝටම...

Saturday, January 29, 2011

හිරු බුධ ගිලලා...


ගියපාර පොස්ට් එකේ අපේ මලයා ගැන කියපු ඒවට හොඳ ප්‍රතිචාර තිබුනු නිසා මම හිතුව මේ පාර අපේ නඟා ගැන ලියන්න කියලා.
අපි දෙන්නට සාපේක්ෂව නංගි ගොඩක් පොඩියි. මලයට වඩා අවුරුදු 7ක් ම බාලයි.ඒ වුනාට කට නම් අපි දෙන්නටම වඩා වැඩිමල්. ඒ නිසා මල්ලිගෙයි මගෙයි වැඩේම නංගිව බයිට් කරන එක තමයි.
මේකත් අපේ නඟා ඇතිවෙන්න බයිට් වුනු, ඒ වගේම යන යන තැන බයිට් වෙන කතාවක් තමයි.

අපිත් පුන්චි කාලෙදි අපෙ පන්තියක ටීචර් කෙනෙක් ඉතින් මොනව හරි දෙයක් කිවුවොත් ඒක හිස් මුදුනින් පිලි ගන්නවනේ.පිලි ගන්නව විතරක් නෙමෙයි. කවුරුත් ඉන් එහාට කියන දෙයක් විශ්වාස කරන්නෙත් නෑ. මේක වුනේ ගිය අවුරුද්දෙ. ඒ කියන්නෙ අපේ නඟා 6 වසරේ.

අර ITN එකේ යන අමන්දා නාට්ටියෙ ඉන්නෙ ජැකී කියලා හාදයෙක්.ඒ මනුස්සයා 2012 ලෝක විනාසෙ වෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් නේ. මේ නාට්ටිය අපෙ ගෙදර කට්ටිය බල බල ඉන්න ගමන් අපේ මලයා කිව්වලු මේක මොන මෝඩයෙක්ද, කොහෙද 2012 ලෝක විනාසයක් වෙන්නෙ කියලා.

අපේ නඟා ඒ ගමන පැනපු ගමන් කිව්වලු "ආ ඔයා කොහොමද එහෙම කියන්නෙ!!! ලෝක විනාසෙ වෙනව තමයි... අපෙ ටීචර් කිව්වා දැනටමත් හිරු බුධව ගිලලා තියෙන්නෙ" කියලා.

ඉන් එහාට එතන වෙච්චි දේවල් ගැන කියලා වැඩක් නෑ. තත්තයි මලයයි මමයි නඟාව බයිට් කලාට අම්මා කවදාවත් එහෙම කියන්නෙ නෑ. ඒ වුනාට එදා අපේ අම්මාටත් හිනාව නවත්තගන්න බැරිවෙලා. අපරාදෙ එදා මම ගෙදර හිටියෙ නෑ.. හිටිය නම් එහෙම අපේ නඟාට යන එන මං නැති වෙනවා.

අදටත් අපේ නඟා දැක්කොත් අපේ නෑදෑයො වෙන අයියලා අක්කලා එයාගෙන් අහනවා " දැන් කොච්චරක් ගිලිලද තියෙන්නෙ? තව දවස් කීයද?" කියලා.....

Friday, January 7, 2011

සෙනසුරු අපලය...



විෂ්ණු දෙවියන්ට කන්නට
බටකොල වත් තිබුනා
මට ඉතිරිව ඇත්තේ
කවි පොතේ - කවි ලියූ
තනිරූල් කොල විතරමයි.....

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...