topbella

Wednesday, July 27, 2016

විළිරුදාව...


මොර ගසා විළි බරින්
දෙදරවා ලෝ යදම්
ඇට මස් නහර උණුකර
සියතින් බොටුව සිරකර
කැවුත්ත උලා දියකර
ඇස්ගෙඩි කඳුලින් දියකර
බිහි කලෙමි තවත්
පුස් කළලයක්...

Wednesday, July 22, 2015

ගිගුරුම...



නෙත් විදා සිටි
සැඩ ඉඩෝරය
දෙපළු කරගෙන
නැඟුන මේ කුළු
සිසිල අයදින
සිනිඳු වැහිපොද
නොවේ දුන්නේ
රුදුරු ගිගුරුම...

Saturday, September 27, 2014

මුට්ටිය දමා බැලීම...

හරියටම වසරකට පසු...

වෙනස්ම වෙනස් පුද්ගලයෙකු ලෙසින්..

ඔලුවට පෙර මුට්ටියක් දමා බලමි. කුඩු වේ නම් මුට්ටිය ය. ඔලුව බේරේ ය.

Saturday, January 19, 2013

Wednesday, October 17, 2012

සොඳුරිය මට නොකියාම ගියා....

අවුරුදු තුනකටත් වැඩි කාලයක් පාළු කම රජ කරපු අපේ ගෙදර අද උදේ ඉඳන්ම එකම ගාලගෝටියක්. ඒ හැම කෙනෙක් අතරම මම හොයන්න උත්සාහ ගත්තෙ ඔයාව. ඒ ඇයිද කියන්න දන්නෙ නෑ... අතරින් පතර පුංචි කසුකුසුවකුත් මට ඇහුනා. ඒ ඇහුනු දේවල් විස්වාස නොකර ඉන්න මම හිත හයිය කර ගන්න ඕනෙ.
අවසන් කටයුතු කරනවා කිව්වෙ අනිද්දනෙ. දවස් තුනක් තියෙනෙවා. ඔයාට වැඩ ඇති, එහෙම ලේසියෙන් වැඩ ටික අතරමඟ දාල එන්න පුළුවන්ද නේද...

හත්මුතු පරම්පරාව කියන්නෙ කවුද කියලා හරියටම අද නම් බලාගත්තා. අපේ මඟුල් ගෙදරට ආවා වගේ දහ ගුණයක් විතර නෑදෑයො අද ඇවිල්ලා... දකිනකොට නම් හරි සතුටුයි. ඒත් ඒ මූනවල් වල තියෙන දුක් පෙනුම දකිනකොට මම කොහොමද හිනාවෙලා ඉන්නෙ. ඔයා ඉක්මනට එන්නකො. මම ආයෙමත් අඳුන්නලා දෙන්නම් කට්ටියවම.

දෙවෙනි දවසත් උනා. සැරින් සැරේ වාහන වල සද්ද ඇහෙද්දි මම ගේට්ටුව ලඟට ගිහින් බැළුවෙ ඒ ඔයාගෙ කාර් එක වෙන්න ඇති කියලා.. අද නම් දුරම ඉන්න නෑදෑයොත් ආවා. අප්පච්චිගෙයි අම්මගෙයි හිත මිත්‍රයො... අනේ ඔයත් ඉක්මනට එනව නම්....

ම්ම්ම්ම් අද නම් අවසන් කටයුතු කරනවලු.. අම්මයි අප්පච්චියි ලඟින් මමත් වාඩි උනා හාමුදුරුවො පාංශකූලෙ දෙන්න වැඩියාම. අම්ම අඬන හැටි දැක්කාම මගේ ඇස් වලින් කඳුළු බේරෙන එක නතර කරන්නෙ කොහොමද... ඔයා ඇවිත් හිටිය නම්, ඔයාගෙ උරහිසට ඔළුව තියාගන්න තිබුනා. හිමීට අප්පච්චි ලඟට කිට්ටු වෙලා අප්පච්චිගෙ උරහිසට ඔලුව තියාගත්තා. පාංශකූලෙ ඉවර වෙලා කනත්තට යනකන්, අප්පච්චිගෙ පිටිපස්සෙන් කකුල් දෙක අද්ද අද්ද ගාට ගාට ගියාට, බෙල්ල කරකව කරකව පිටිපස්ස බැළුවෙ හති දමාගෙන දුවගෙන එන ඔයාව හරි ගෙනඟ මැද්දෙන් පීරගෙන එන ඔයාගෙ කාර් එක හරි දකිනකන්.

පෙට්ටිය වල උඩින් තියලත් අන්තිම පාරට කවුරු හරි බලන්න ඉන්නවනම් කියලා ඇරලා පෙන්නුවා... සෙනඟ පීරලා බැල්මක් දාලා බැලුවෙ දැන් වත් ඇවිල්ල ඇති කියලා හිතාගෙන... අනේ ඔයා දැක්ක නම්....

ලස්සනම ලස්සන සුදුපාට සාරියක් මට අන්දලා තිබුනා.. පුංචි පබලු වලින් වැඩ දාලා... මතකද මම තෝරගත්ත‍ මගෙ මඟුල් සාරියත් පුංචි පබළු වලින් වැඩ දාපු එකක්. ඒ වගේම ලස්සන මල්... මං ආස කලා වගේම අමු මල් වලින් අදත් සරසලා තිබුනා... ඒත් පුංචි අඩුවක්. ඔයා ආස කරපු ඒ පොකුටු කොන්ඩෙ නම් නෑ... අන්තිම පාරට ඔයා බලන්න ආපු දවසින් පස්සෙ මහරගමදි දීපු බෙහෙත් වලට අහුරු පිටින් ගැලවුන නිසා අන්තිමට පිහිටට හිටියෙ බොරු කොන්ඩයක් තමයි...

සේරම වැඩ ඉවර උනාට පස්සෙ එක්කෙනා දෙන්නා කනත්තෙන් එහාට ගියා... අම්මයි අප්පච්චියිත් ගියා... මාව එක්කන් යන්න අමතක කරලා ගියා. මට මතක් උනා ආයෙමත් අපේ මඟුල් ගෙදර. අම්මයි අප්පච්චියි එදත් මාව දාලා ඔය විදිහටම ගියා. එදා නම් ඔයා හිටියනෙ. යන සෙනඟ අතරේ ආයෙමත් ඇස් දිව්වා...
මට සින්දුවක් මතක් උනා.....
 
එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...

මගේ කතාවට සම්පූර්ණයෙන්ම ගැලපෙන්නෙ නැති උනත්, ඒ මතකයත් එක්ක ගඟක් වගේ ගලන්න ගත්ත කඳුළු මට නවත්තන්න බැරි උනා.

ඔයාගෙ දෙමව්පියො නෑදෑයො නැතත් ඔයා එයි කියලා මම විශ්වාස කලා. මාස දෙකකට උනත් ඔයා මට දුන්නු ආදරේ බොරුවක් ම නෙමෙයි කියල මම හිතුවා. මට සමාවෙන්න...... මම ඔයාගෙ වෙච්චි ඒ දවස වෙද්දි මෙහෙම දෙයක් දැනන් හිටිය නම්, කවදාවත් ඔයාව මෙහෙම අතරමං කරන්නෙ නෑ...... සත්තකින්ම ඒ වෙනකොට අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ...........................


(සත්‍ය සිදුවීමකි...)

Thursday, September 6, 2012

බලා ඉන්නම්...


බලා ඉන්නම් නුඹ වඩිනකන්
කඳු ගැටිති නිල්වලා අතරින්..
බලා ඉන්නම් දවල් වන විට
ලඟට ඇවිදින් හිස සිඹිනකන්..
බලා ඉන්නම් රක්ත නයනින්
කඳුල වුව හැර පලා යනකන්..
බලා ඉන්නම් හෙට වඩින්නේ
මා බලන්නැයි සිත සනසමින්...


 

Wednesday, July 11, 2012

ඉටි පහනක්...2



හුස්ම නොහෙලමි
පියා නොවිදමි
ඉටි පහන වට
නොම සරන්නෙමි
අඩක් පිච්චී
දැවී අළු වුනු
පියාපත් දෙස
බලා ඉන්නෙමි
දුර හිඳන් මම
පෙම් කරන්නෙමි
නුඹට නොපෙනී
නුඹට නොදැනී...

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...