topbella

Friday, August 12, 2011

ඔබ බලා අවසන් කර නෙත් දෙක දෙන තෙක් තව කෙනෙක් බලා ඉන්නවා.....

මේක මට ආපු ඊ-මේල් එකක්.....
ටිකක් හිතන්න දෙයක්.....
පිංතූරෙ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න...ඔබත් බලා අවසන් වූ කල නෙත් දෙක දෙන්න කැමතිද? එහෙනම් ෆේස්බුක් ඉන්න අය මෙතනින් යන්න...
එහෙම නැත්නම් මේ තොරතුරු උදව්වක් වේවි....



Saturday, August 6, 2011

ඔබට මතකද...


පෙම්වතුන් ලෙස
පැතුම් පොදි බැඳ
පා නැඟූ මේ
පුරුදු මං දිග
සිඟිති දියණිය
ඉපදි පළමුව
තුරුළු කරගෙන
රැගෙන ආ මඟ
දශක නික්මී
ඔබද මා ඇය
පිය නඟන සඳ
යළිත් ඒ මඟ
සිතුවමක් මෙන්
ඇඳුනු මතකය
දුටිමි ඔබ මුව
මඳහසක් ලෙස...


ප.ලි. පිංතූරෙ ඉන්නෙ... තාත්තයි අම්මයි මමයි...

Friday, August 5, 2011

ඇනෙලීඩා නම් පර්සියන් පූසා...


මේක නම් එළව එළවා කෑමක් සෙට් වෙන වැඩක්.. අදින් පස්සෙ මගේ බ්ලොග් එක ලියන එක නැවතුනොත් හිතාගන්න සතා මාව ඌරා කපනවා වගේ කපලා කියලා...

බෝඩිමේ සත්තු 4 දෙනෙක්ම ඉන්නවනේ... ඒ 4දෙනාම කියපුවා තමයි මේ. මම සතා1, සතා2, සතා3, සතා4 කියලා පාවිච්චි කරන්නම්.

මේවා අපේ සතාගේ පණ්ඩිත වාක්‍ය කීපයක්...

-------------------------------------------------------------------------------------------------


සතා1: චතූ..... ලයිබ්‍රියෙ සිංහල පොත් නෑ බං. මොකක්දෝ එකක් තියෙනවා හීනෝන්මාදය කියලා...
(හීනෝන්මාදය = හිතෝපදේශය)

-------------------------------------------------------------------------------------------------


සතා1: මේ... operon කියන්නෙ මොකක්ද?
සතා2: ඒ ජාන පිහිදාලා දාන එකක්ද කොහෙද, duster of gene කියලා තියෙන්නෙ....
(duster of gene = cluster of gene)

-------------------------------------------------------------------------------------------------

පේපර් එකක,
ක්‍රියේටිව් සතා: they behave as ranchu.... (රංචු)

-------------------------------------------------------------------------------------------------


දැන් එන්නම්කෝ පර්සියක් පූසගෙ කතාවට...

ඒක දවසක් අපේ සත්තු 2 නෙක් තමන්ට නියමිත විදිහට උයන්න ලෑස්ති උනාලු.. මේ දෙන්නා මොනවදෝ මන්දා එළවළුවක් සුද්ද කර කර ඉන්නකොට ඒකෙ ඉඳලා පණුවෙක් අහු උනාලු. පස්සෙ ඉතින් පණුවා අයින් කරලා උයලා එහෙම කන්න ලෑස්ති වෙනකොට පනුවව මතක් උනාලු.. දැං කන වෙලාවෙ පණුවො මතක් කරන්න හොඳ නෑනෙ.. ඉතින් ඒක විද්‍යාත්මකව කිව්වා "අද මේවයෙ ඉඳලා අපිට ඇනෙලීඩාවෙක් හම්බුනා කියලා".

අපේ ක්‍රියේටිව් සතාගෙ වැඩේ කන්න ගියත්, පාඩම් කරන්න ගියත් අපිත් එක්ක කතා කර කර හිටියත් එයාගෙ ප්‍රේම කුරුල්ලාට මැසේජ් කොටන එක තමයි. ඕවා කොට කොට ඉඳලා අපි කියන දේවල් බාගෙට අහගෙන ඊටපස්සෙ පිස්සු නටනවා... මේ පාරත් ඒ වගේ වැඩක් තමයි උනේ...

අර ඇනෙලීඩා කතාව කියද්දිත් බාගෙට අහගෙන ඉඳලා එකපාරට අහනවා.. ඒ කවුද බන් ඇනෙලීඩා කියන්නෙ කියලා.. මේකා ඒ ලෙවල් වලට බයෝ කරලා තියෙන්නෙත් මෙහෙ ඉගෙනගන්නවා වගේමද කොහෙද...

අපි: ඒ පර්සියන් පූසො ජාතියක්නේ... ඔයා අහලා නැද්ද?
අර පොඩ්ඩක් රෝස පාට, ටිකක් දිග, අද (මට එළවළුව මතක නෑ.. අපි මෑ කරල් කියලා හිතමු) මෑ කරල් වල ඇනෙලීඩාවෙක් ඉඳලනෙ...

මෙයත් ටිකක් වෙලා උඩ බිම බලලා හා කියලා ආපහු කන්න පටන් ගත්තා. අපිට පුදුමයි. වෙනදට මෙයා කන වෙලාවට කවුරු හරි ඊයා කිව්වත් කෑම නවත්තන එක්කෙනා පණුවෙක් ඉඳලා කිව්වත් හොඳට කනවා... අපි දවස් ගානකට පස්සෙ තමයි දැනගත්තේ ඕක ගැන ආපහු කතා කරනකොට... මේකා එතකන්ම හිතාගෙන ඉඳලා තියෙන්නෙ ඇනෙලීඩා කියන්නෙ ඇත්තටම පර්සියන් පුසෙක් කියලා..

මැසේජ් කොටනකොට මේකගෙ මොලෙන් බාගයයි මේ පැත්තෙ තියෙන්නෙ. අනික් ටික මැසේජ් එකේ.. හි හි හි...

අද සත්තු ටික ෆීල්ඩ් විසිට් එකක් ගිහින් නිසා මම හැංගිලා මේක ලියන්නෙ.. අහු උනාම මම ඉවරයි.... කොක්කෙ එල්ලලා ඉඳියි...

Tuesday, August 2, 2011

ග්‍රීස් යකා...


මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ ඔය ග්‍රීස් යකා ගැන, මේ පැත්තෙත් ඔය භීතිකාව පොඩ්ඩක් තියෙනවා..
අස්ථිකාලගෙ බෝඩිමේ ජනේලෙකින් සුදුපාට අතක් දැම්මලු..
රෑ 11 ට විතර ඇවිත් දොරට තට්ටු කලාලු...
පෙරේදා රෑ කෙල්ලෙක් යටිගිරියන් කෑගහන සද්දයක් අපේ සතෙකුට ඇහුනලු...
අපේ බෝඩිමට පහල පාරෙන් දිග පිහියක් දාලා ගිය මනුස්සයෙක් අල්ලගත්තලු..
ඔන්න ඔය වගේ කතා ගොඩක් ආරංචි උනා...
ඇත්ත නැත්ත කොහොමද නම් දන්නෙ නෑ...

අපිත් චුට්ටක් විතර බයෙන් තමයි ඉන්නේ.. මොකද අපේ දොරේ අගුල ටිකක් අප්සට්නේ, කකුලෙන් එකක් දුන්න ගමන් දොර ඇරෙනවා... බෝඩිමේ ඇන්ටිට කිව්වට හදල දෙන්නෙත් නෑනෙ...

බ්‍රවුන් කියලා බලු තඩියෙක් නම් ඉන්නවා... ඒත් ඌ අපිට විතරයි පාට් දාන්නෙ. හොරුත් එක්ක ඌ යාළුයිද මන්දා... රෑ 9න් පස්සෙ ඌ ලෙහුවාම අපි නම් එලියට බහින්නෙ නෑ...

ඉතින් ඔය ග්‍රීස් යකා ගැන කතා කරන්න ගිහින් කියාපු රසකතාවක් තමයි මේ...

දන්නවනෙ අර ක්‍රියේටිව් උත්තර දෙන අපේ සතා ගැන. එයාට ඉතින් ලොකු ප්‍රශ්නයක්ලු මේ ග්‍රීස් යකා ගැන...

සතා: එතකොට ඔය ග්‍රීස් යකා ග්‍රීස් ගාගෙන එන්නෙ ඇයි?
අපි: එතකොට කාටවත් ඌව අල්ලන්න බෑනෙ.. ලිස්සනවනේ...
සතා: එතකොට ඌ ග්‍රීස් ඇඟේ ගාගන්නේ අත් දෙකෙන් අරගෙන නේ... ඉතින් ඌ අත් දෙකේ ග්‍රීස් ගාගෙන ඇවිල්ලා කෙල්ලෙක්ව අල්ලගත්තාම ඒ කෙල්ලටත් ලිස්සලා යන්න පුළුවන් නේ....

(හා දීපන්කෝ දැන් ඕවට උත්තර... බලන්න කොච්චර දාර්ශනික මොලයක්ද කියලා...)

ප.ලි. සතා තව තව ප්‍රශ්නත් ඇහුවා යකා ගැන... ඒවා මේකෙ ලියන්න ටිකක් අමාරුයි.,..

Sunday, July 31, 2011

තාත්තා...

උදේ පාන්ද‍රම ඉර පායලා ටිකක් වෙලා ගිහිල්ලා ගමේ ඉස්කෝලෙ පටන් ගන්න පැය බාගෙකට විතර කලින් මෙන්න මේ විදිහටම තාත්තගෙ ඇඟිල්ලෙ එල්ලිලා, සුදුපාට ගවුමකුත් ඇඳගෙන ඉස්කෝලෙ යන එක වසරෙ පුංචි කෙල්ලෙක් හිටියා... ඒ කෙල්ලගෙ පුංචි අතට අහු උනේ තාත්තගෙ පුංචිම ඇඟිල්ල විතරයි... පාරෙ ගල් බොරළු වල හැප්පෙන්නැතුව වැටෙන්නැතුව යන්නත් ඕනෙ.. වටේ තියෙන දේවල් බලන්නත් ඕනෙ... ඉස්සරහට හම්බෙන අයත් එක්ක හිනා වෙන්නත් ඕනෙ.. උදේට හම්බෙන කට්ටිය "මෝනින් සර්" කියාගෙන යනවා... කෙල්ලටත් ඉතින් හරි ආඩම්බරයි...

ඊට පස්සෙ ගිහින් පන්තියට දාපු වෙලේ ඉඳන්, ටීචර් උගන්නන්නේ නැති හැම වෙලාවෙම තාත්ත ඉන්න කාමරේට දුවනවා.. පැන්සලේ තුඩ කැඩුනාමත් තාත්තා හොයාගෙන යනවා... ඒ යන හැම වෙලාවකම රුපියලක් මාටියා ගහගෙන එන්න අමතක කරන්නෙත් නෑ... (ඔන්න ඔහොම තමයි කෙල්ල මාටියා ගහන්න පටන් ගත්තෙ. දැනට සාර්ථක විදිහට කැළණිතිස්ස අයියගෙ පර්ස් එකට වැඩේ දෙනවා.. :D).

ඒ පුන්චි කෙල්ලට අපි තාරා කියලා නම තියමු...

ඔන්න එක දවසක් තාත්තා තාරා වයි මල්ලිවයි ලං කරගෙන සිංහබාහු කතාව කියලා දෙනවා.. ඒ දවස් වල සිංහල අච්චු පොතක ඒ කතාව සේරම කවි ටිකත් එක්ක තිබුනා... තාත්තා ලස්සනට කවි ටිකත් කියලා රඟපාලා වගේ කතාව කියනවා... කතාවෙ අන්තිම හරියෙදි සිංහබාහු සිංහයව මරනවනෙ... ඔන්න ඕක කිව්ව විතරයි තාරයි මල්ලි දෙන්නම තාත්තව බදාගෙන අඬනව... ඇයි කියල ඇහුවම "ඒකෙ පුතා තාත්තව මරනවනේ..." කියලා තවත් හයියෙන් අඬනවලු...

අදටත් තාරාට හිතෙනවා ඒ කතාවෙ අවසානය වෙනස් උනා නම් හොඳයි කියලා....

ඒ වගේම තාරාගෙ තාත්තගෙ කතාවත් දැන් තියෙන එකට වඩා හොඳ උනා නම්... ඉස්සර වගේම තාත්තගෙ ඇස් දෙක හොඳින් පෙනුන නම්... ඉස්සර වගේ, ලස්සන චිත්‍ර අඳින්න( ඔය පිටිපස්සෙන් තියෙන මියුරල් එක වගේ ), කැටයම් කපන්න, පොත් කියවන්න.... කොච්චරක් නම් දෙවල්ද... තාත්තගෙ ගෝල බාලයා වෙලා තාරා නොකරපු දෙයක් නෑ... කැරකෙන වෙසක් කූඩු හැදුවා, තොරන් වලට චිත්‍ර ඇන්දා, ලී වැඩ කලා, කැටයම් කැපුවා, මේසන් වැඩ කලා, ඉලෙක්ට්‍රික් වැඩ කලා...

අද තාරා තාත්තට ඇහෙන්න පත්තරේ කියවනකොට, අතින් අල්ලගෙන්න පාරෙ එක්කගෙන යනකොට, තාත්තා ඇඳපු චිත්‍ර දකිනකොට, තාත්තා ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්න්නෙ නෑ කියලා මතක් වෙනකොට, දෙවියො ඇයි මේ තරම් නපුරු උනේ කියලා තාරට හිතිච්චි වාර නම් කොච්චරක්ද...

අද තාරගෙ තාත්තගෙ උපන්දිනේ... තාත්තට අදට වයස 47යි. "මගේ තාත්තට සුභ උපන් දිනයක් වේවා!! ඒ වගේම ඉක්මනට සනීප වෙන්නත් ඕනෙ..."

ප. ලි. :මේ පෝස්ට් එක ලියන්න නම් පටන් ගත්තේ තාත්තා ගැන ගොඩක් දේවල් කියන්න හිතාගෙන... ඒත් එක පිට එක සිතිවිලි රෑන් පිටින් හිතට කඩාවදිනවා... වචන වලින් විස්තර කරන්න බැරි ගොඩාක් දෙවල්... සමහර විට ඡේදයෙන් ඡේදය සම්බන්දයක් නෑ වගේ පේනවා ඇති... සංවිධානය කරලා ගලපලා ලියපු පෝස්ට් එකක් නෙමෙයි.... කවියක් ලියනවා කියලා මුලින් හිතුවට පද 4ක් ගලපගන්නත් ගොඩක් අමාරුයි... ඒ හින්දා රචනාවක්ම ලිව්වා...

Thursday, July 28, 2011

රෝස කුසුම...


සිතා සිටිය මුත් රකිනට හදෙහි තියා
පරවී ගියෙ කිමද සිටියදි දෙනෙත් අයා
ඔබේ කණ්ට පහරින් වූ රිදුම තියා
අමතක වීද මා වැන්නෙක් සිටිය නියා...


ප. ලි. චතුවා බණ්ඩාරවෙලින් ගෙනත්, දවස් ගානක් වතුර එකක දාලා තියාගත්තු රෝස මල අද පරවෙන්න ළං වෙලා නිසා මගේ වියළි මල් එකතුවට ලැබුනා...

Wednesday, July 27, 2011

අසන් මා සිත...


මා කල වරද කිම ඔබ
වීදුරුයෙන් නිමැවීමට
එක් නිමේෂයකින්
බිඳකුදු ඉතිරි නොව
වේදනාව පමණක් ඉතිරිකොට
සුනු විසුනු වන්නට...

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...